මුල් ළමාවිය රැකවරණය පිළිබඳ ජාතික සතිය ජූලි 14දා ඇරඹෙයි
මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය ජූලි 14 වැනිදා සිට 20 වැනිදා දක්වා රටපුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අද (13) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මුල් ළමාවිය ජාතික සතිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
“විකසිත වන ළමා ලොවට – හිරු කිරණකි සොඳුරු පවුල” යන තේමාව යටතේ මෙවර ජාතික සතිය ක්‍රියාත්මක වන අතර, ශාරීරික, මානසික, සමාජීය සහ බුද්ධිමය සංවර්ධනයෙන් පිරිපුන් දරු පරපුරක් බිහිකිරීම එහි ප්‍රධාන අරමුණ බව අමාත්‍යවරිය සඳහන් කළාය.
මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ දැනුවත් ප්‍රජාවක් ගොඩනැඟීම ද මෙම වැඩසටහනේ තවත් අරමුණක් බව ඇය පැවසුවාය.
ජාතික සතියට සමගාමීව දිනෙන් දින විවිධ ඉලක්ක කණ්ඩායම් සඳහා වැඩසටහන් සංවිධානය කර ඇති බවද අමාත්‍යවරිය සඳහන් කළාය. ඒ අනුව ජූලි 14 වැනිදා රාජ්‍ය, රාජ්‍ය නොවන හා පෞද්ගලික ආයතන මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන් සඳහාත් 15 වැනිදා මුල් ළමාවිය දරුවන් සඳහාත්, 16 වැනිදා පෙරපාසල් ගුරුවරුන් සඳහාත් වැඩසටහන් පැවැත්වේ.
එමෙන්ම 17 වැනිදා මුල් ළමාවිය ක්ෂේත්රයේ සියලු පාර්ශ්ව දැනුවත් කිරීම සඳහාත් , 18 වැනිදා දෙමාපියන් සඳහාත්, 19 වැනිදා තරුණ හා නව විවාහක යුවළ සඳහාත් වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර ජූලි 20 වැනිදා මුල් ළමාවිය සංවර්ධන ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියක් සමඟ ජාතික සතිය අවසන් කිරීමට නියමිතය.
2016 වසරේ සිට මුල් ළමාවිය ජාතික සතිය ක්‍රියාත්මක වන බව සිහිපත් කළ අමාත්‍යවරිය, උපතේ සිට වයස අවුරුදු පහ දක්වා කාලය දරුවෙකුගේ ජීවිතයේ තීරණාත්මක අවධියක් බව අවධාරණය කළාය.
පවුල තුළ ඇති සුරක්ෂිත හා ධනාත්මක පරිසරය දරුවාගේ පෞරුෂ සංවර්ධනයට මූලික වන බවත් ඒ සඳහා දෙමාපියන්ගේ මෙන්ම සමාජයේ සියලු පාර්ශ්වයන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය බවත් ඇය පෙන්වා දුන්නාය.
පෙරපාසල් ගුරුවරුන්, අධ්‍යාපන ආයතන, මාධ්‍ය, ළමා පොත්පත්, කාටූන් සහ අනෙකුත් ළමා අන්තර්ගතයන් දරුවන්ගේ සංවර්ධනයට ගැළපෙන අයුරින් සකස් කිරීමේ වැදගත්කමද අමාත්‍යවරිය අවධාරණය කළාය.
සෞඛ්‍යය, පෝෂණය, අධ්‍යාපනය මෙන්ම කුඩා දරුවන් භාවිත කරන සෙල්ලම් බඩු සහ ඒවායේ ප්රමිතීන් පිළිබඳවද මෙම සතිය තුළ විශේෂ අවධානය යොමු කරන බව ඇය පැවසුවාය.
දරුවන්ට එරෙහි අපයෝජන, අන්තර්ජාලය හරහා ඇතිවන අවදානම්, විභාග තරගකාරීත්වය, ළමා මානසික සෞඛ්‍ය ගැටලු සහ දෙමාපියන්ගේ වගකීම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමද මෙවර ජාතික සතියේ ප්‍රධාන අරමුණක් බව අමාත්‍යවරිය සඳහන් කළාය.
2025 වසරේදී හඳුන්වාදුන් නව පෙරපාසල් විෂයමාලා රාමුවට අනුව ගුරුවරුන් පුහුණු කිරීම මේ වන විට සිදුකරමින් පවතින බවත් 2027 වසරේ සිට එම නව විෂයමාලාව අනුව අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
