මුන්දලම කලපුවේ මියගිය මසුන් විශාල ප්රමාණයක් දක්නට ඇතැයි මුන්දලම ධීවරයෝ පවසති.
ඉකුත් 06 වැනිදා දහවල් කාලයේ සිට මෙම තත්ත්වය දකින්නට ඇති බව මුන්දලම ශාන්ත ජේමිස් ධීවර සමිතියේ සභාපති මර්තීණු ප්රනාන්දු මහතා පැවසීය.
මිය ගිය ලොකු කුඩා මසුන් ලක්ෂ ගණනක් කිලෝ මීටර් 03 ක් පමණ දුරකට කලපු තීරයට ද ගොඩ ගසා ඇති බවත්,වෙරළට ගොඩ නොගැසූ මිය ගිය මසුන් විශාල ප්රමාණයක් කලපුව තුළ සිටින බවත් එසේම 06 වැනිදා රාත්රීයේ එළන ලද දැල් වලට එම මාළු පැටලී සිටින බවත් ධීවරයෝ කියති.
මුන්දලම කලපුව භාවිතා කරමින් 1000 කට අධික ධීවරයින් පිරිසක්ද,ඒ ආශ්රිත රැකියා කරන විශාල ප්රමාණයක්ද සිටිති.
දැල් වලට පැටලී ඇති මාළු මිය ගොස් තිබෙන බැවින් එම සතුන් අලෙවි කිරීමට නොහැකි බවද,වෙරළට ගොඩ ගසා ඇති මසුන් කුණුවීමට පටන් ගෙන ඇති නිසා විශාල පාරිසරික හානියක් සිදු වෙමින් පවතින බවද ධීවරයින් සදහන් කරති.
පසුගිය වසරේද මේ ආකායට මුන්දලම කලපුව තුළ මසුන් මිය යාමේ සිද්ධියක් වාර්තා වී ඇති බවද කියති.
කුඩා මසුන් මිය යාම නිසා වසර කීපයකට මුන්දලම කලපුවේ නැවත රැකියාව කිරීමට තමන්ට නොහැකි වන බවද ඔවුන් කියා සිටී.
අප මේ පිළිබඳව පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂ අයි.එම්.ජී. සරත්චන්ද්රනායක මහතාගෙන් විමසීමක් කළේය.
එහිදී ඒ මහතා කියා සිටියේමේ සම්බන්ධයෙන් තමන් දැනුම්වත්ව සිටින බවත් ඒ අනුව නාරා ආයතනයද සම්බන්ධකරගෙන මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගන්නා බවත්ය.
ජයරත්න වික්රාමාරච්චි



