වර්තමානයේ ලෝකයේ පවතින අර්බුදය හමුවේ මෙරට මුදල් ඇමතිවරයාට මොළ හතක් නෙමෙයි මොළ දාහතරක් තිබුනත් ඩොලර් හිගය, ආර්ථික අර්බුදය නැති කිරීම, ආර්ථිකය ගොඩ ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පැවසීය.ඒ මහතා මේ බව සඳහන් කළේ අද (3දා) අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.
"මේ රටේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්තයා තමයි පොදුජන පෙරමුණ නිර්මාණය කරලා යහපාලන නඩෙන් මේ රට බේර ගත්ත නායකයා,කොරෝනා වසංගතය ඇතිවීම , ඉන්ධන පෝලිම් පැවතීම, ඩොලර් හිගයක් ඇතිවීමට, රුසියානු යුක්රේන යුද්ධය ආරම්භ වීමට එතුමා පලි නැහැ.
එතුමාගේ ඇඟ උඩින් මේ සියලුම දේ දාලා වාසි ගන්න පිරිසක් ඉන්නවා. සමහර අය ඉන්නවා රජය හොඳ වැඩක් කරන කොට එතනට ඇවිල්ල ලකුණු දාගෙන ගිහින් රජය කිසි යම් හෝ තැනක ඒ අපහසුතාවයට ලක් වෙන කොට මග ඇරලා විවේචනය සිදු කරන අය, ඒ අය මම නම් දකින්නේ කොන්ද පණ නැති දේශපාලඥයින් විදියටයි. ඒ අයට කශේරුකාවක් තියෙනවා නම් එහෙම කරන්නේ නැහැ.
උදය ගම්මන්පිල කටයුතු කරන්නේ ඔහු මේ රටේ බල ශක්ති ඇමතිවරයා බව නොදැනයි, තමන්ට විෂය පථයක් භාර දුන් පසු එයට අදාල දේවල් තමයි කරන්න ඕනේ. අඩු පාඩුවක් තියෙනවා තියෙනවනම් කැබිනට් මණ්ඩලය හෝ රටේ නායකයා එක්ක සාකච්ඡා කරන්න ඕනේ.
එහෙම නැතුව උදේ හවස විදුලිය කපන වෙලාව, ආයේ විදුලිය ලැබෙන වෙලාව, තව මාස තුන කට විදුලිය නැහැ, මාස හයකට විදුලිය නැහැ, කියලා ජනතාව බිය ගන්වලා පෝලිං ඇති කරන එක නෙවෙයි වගකීම.
අද වෙනකොට මිනිස්සු විශාල ප්‍රමාණයක් ඩිසල් තොග හංගාගෙන සිටිනවා. මේක කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකුට අදාළ කාරණයක් නෙවෙයි එතුමා කරන්නේ. තමන්ගේ විෂය කර ගන්න බැරි බැරිඋනාම තමයි එහෙම කරන්නේ,
රජයේ ආර්ථික අර්බුදයක ඉන්නේ, මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න එකතු වෙලා ඉන්න ඕනේ. ආන්ඩුවේ පක්ෂවල අයගේ වගකීම තමයි එකතු වෙලා ප්‍රශ්න වලට උත්තර සොයා ගැනීම. එහෙම තියෙද්දි ආණ්ඩුවේ පිරිසක් වෙනම ගිහින් සම්මේලන පවත්වලා විරුද්ධ පක්ෂය කරන්න ඕන දේවල් ආණ්ඩුව තුළ ඉඳගෙන කිරීමෙන් වෙන්නේ විරුද්ධ පක්ෂයේ අයට ආයුධ ලබා දීමයි.මෙය සදාචාරාත්මක ද දේශපාලනයට ගැලපෙන දෙයක් නෙමෙයි ඇමතිවරයා පැවසීය.