මුතුරාජා හස්තියා රැකබලා ගැනීම ජාතික සත්වෝද්‍යානයට ලබා ගැනීම පිළිබඳව තායිලන්ත තානාපතිවරයා සමග අමාත්‍ය මහින්ද අමරවීර මහතා සාකච්ඡා කරයි.
මුතුරාජා හස්තියා දෙහිවල ජාතික සත්වෝද්‍යානය තුළ රඳවා රැක බලා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (22) මෙරට තායිලන්ත රජයේ තානාපති පොජ් හාර්න්පොල් මහතා සමග සාකච්ඡා කළේය.
ඊයේ (22) පෙරවරුවේ එක්සත් ජාතින්ගේ සංවිධාන කාර්යාලයේ දී තායිලන්ත තානාපතිවරයා හමු වූ අවස්ථාවේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම ඉල්ලීම කළේය.
දෙහිවල ජාතික සත්වෝද්‍යානය තුළ මුතුරාජා දැනට අවශ්‍ය සත්කාර ලැබෙන බව තමන් ද නිරීක්ෂණය කළ බව කී තානාපතිවරයා මුතුරාජා හස්තියාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හා ආහාර පාන ලබාදෙමින් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව දක්වන සහයෝගය කෙරෙහි තායිලන්ත රජය වශයෙන් කෘතඥතාවය පළ කරන බව ද සඳහන් කළේය.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා ද මෙම අවස්ථාවට සහභාගි වූ අතර මුතුරාජා හස්තියාට තවදුරටත් අවශ්‍ය ප්‍රතිකාර සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වෛද්‍ය කණ්ඩායම් යොදවා ලබා දෙන බවත් අවධාරණය කළේය. එමෙන්ම වැඩිදුරටත් ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් එම සියලු ප්‍රතිකාර තම දෙපාර්තමේන්තුව සතු මුදල් හා වෛද්‍ය කණ්ඩායම් යොදවා ලබා දිය හැකි බවත් අවධාරණය කළේය.
දැනට මෙම හස්තියා පාදයක ආබාධයකින් පෙළෙන බැවින් මුඑම සත්වයා තාවකාලිකව තායිලන්තයට ගෙන ගොස් ප්‍රතිකාර ලබා දීමට තායිලන්ත රජය තීරණය කර ඇතැයි ද සඳහන් කළේය. විශේෂයෙන් පාදයේ ආබාධයට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතය.
කෙසේ වුවද මේ වනවිට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් ලැබෙන සත්කාර නිසා තමන් ද සෑහීමට පත්වන බවත්, නමුත් තායිලන්ත රජයේ ඉහළ බලධාරින් සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව ද තානාපතිවරයා සඳහන් කළේය.
මෙම අවස්ථාවට සහභාගි වූ එක්සත් ජාතින්ගේ මෙරට නිත්‍ය නියෝජිත හැනා සිංගර් මහත්මිය ද මුතුරාජා සත්වයාට අවශ්‍ය වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නම් ඊට තමන්ට ද සහයෝග්ය ලබා දිය හැකි බවත්, මුතුරාජා ශ්‍රී ලංකාවේ ම රඳවා ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන ලෙස තමන් ද ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම හස්තියා විහාරස්ථානයකට ලබා දීමෙන් අනතුරුව මුතුරාජා රැක බලා ගැනීම බාර කළ ඇත්ගොව්වා විසින් එම සත්වයාට දැඩි ලෙස හිංසා පීඩා කර ඇති බව පෙනී යන බවත්, විහාරස්ථානය බාර කිසිදු තැනැත්තෙක් ඊට එරෙහිව කටයුතු නොකිරීම නිසා මෙම හස්තියා දැඩි පීඩාවට පත් කර ඇති බවත් සදහන් කළේය.
