මුතුරාජවෙලට නව ඉන්ධන ගබඩා ටැංකි තුනක්
මුතුරාජවෙල පර්යන්තයේ නව ඉන්ධන ගබඩා ටැංකි තුනක් ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ලංකා බනිස්තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ අරමුදල් යොදා ගනිමින් ඝනමීටර 15,000 බැගින් වූ ඉන්ධන ගබඩා ටැංකි දෙකක් සහ ඝනමීටර 10,000ක ඉන්ධන ගබඩා ටැංකියක් ඉදිකිරීම සඳහා 2025 ජුනි 02 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබිණි.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පාරිසරික හා නෛතික අවශ්‍යතා සපුරාලීම සම්බන්ධයෙන් ද අදාළ පියවර ගෙන තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය විසින් නියම කර ඇති නිර්දේශ හා කොන්දේසි ප්‍රසම්පාදන කොන්ත්‍රාත් ගිවිසුමට ඇතුළත් කර ඇති අතර, වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ විධිවිධානවලට අනුකූලව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවට බලශක්ති හා පරිසර අමාත්‍යවරුන් විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇත.
ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ලැබුණු ලංසු අතරින් ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබූ සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Indo-East Engineering & Construction (Lanka) (Private) Limited සහ Ceylex Engineering (Private) Limited Joint Venture වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීමට අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව, අදාළ කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු ඩොලර් මිලියන 3.04ක් සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,796.14ක් වන මුදලකට, එකතු කළ අගය මත බදු රහිතව පිරිනැමීමට බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

