රටේ වෙළෙඳපොළ ආර්ථිකයක් පවතින මේ යුගයේ ඉල්ලුම හා සැපයුම අනුව භාණ්ඩ මිල තීරණය කිරීම ට ඉඩ හරිනවා විනා මිල පාලනය කිරීම හා ඒ සඳහා ගැසට් පත් නිකුත් කිරීමෙන් සිදුවන්නේ භාණ්ඩ සඳහා කෘතිම හිඟයක් ඇතිවීම යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (24දා) පැවැති මාධ්‍ය හමුවේදී මන්ත්‍රිවරයා මෙසේද සඳහන් කළේය.
වැඩිම ආහාර උද්දමනය තිබෙන රටවල් 5 අතරට ශ්‍රී ලංකාව ද මේ වන විට ඇතුළත්වෙලා තිබෙනවා. අපි ඉන්නේ ඉතියෝපියාවටත් පහළින් ය. පාරිභෝගික ජනතාවට මස් මාළු පරිභෝජනය කිරීම ගැන සිතන්නටවත් බැරි තරම්ය. දැන් බිත්තර මිල ද අහස උසට නැගලා. රජය පාරිභෝගික අධිකාරි පනත යටතේ බිත්තරවලට පාලන මිලක් නියම කරමින් ගැසට් පත්‍රිකාවක් නිකුත් කර තිබෙනවා. අද රටේ තිබෙන්නේ වෙළෙඳපොළ ආර්ථිකයක් බැවින් ගැසට් මගින් මිල පාලනයක් කිරීම යනු යල්පැන ගිය ක්‍රමවේදයක් බව රජය වටහා ගත යුතු යැයි හෙතම අවධාරණය කළේය.
වෙළඳපොලේ රුපියල් 65 ට විකුණන බිත්තරයක මිල රු 45 කරමිනි මිල පාලනයක් නියම කර තිබෙනවා. මේ අයුරින්ම සහල් මිල පාලනය කිරීමටත් රජය පසුගිය වසර දෙක ඇතුළත විවිධ ගණන් නියම කරමින් ගැසට් 13 ක් නිකුත් කළා. එම ගැසට් මගින් සහල් මිල පාලනය කිරීමට නොහැකි වීම කරණකොටගෙන එම ගැසට් සියල්ල රිවර්ස් කිරීමට රජයට සිදුවිය. බිත්තර මිල පාලනය සඳහා නිකුත් කළ ගැසට්ටුව ටද දැනටමත් එම ඉරණම ප්‍රායෝගිකව අත් වී තිබෙනවා.