පෞද්ගලික ආරවුලක් මත හෝ විවිධ කෝන්තර මත රට තුළ මිනීමැරුමක් හෝ මංකොල්ලකෑමක් සිදුවූ පමණින් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇතැයි පැවසීම සාධාරණ නොවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා මේ බව පැවසුවේ මහරගම ජනාධිපති විද්‍යාලයේ 44 වන සංවත්සරය වෙනුවෙන් ඊයේ (20දා) පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමිනි.
Q ආරක්ෂක ලේකම්තුමා පසුගිය දිනවල රටේ විවිධ තැන්වල බෝම්බ හමුවීම් සහ ඝාතන රැල්ලක ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා එය රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නේද?
A එක තැනක දෙතැනක මිනීමැරුමක් සිදු වුණා කියලා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නෙ නැහැ.එහෙම පැවසීම වැරදියි. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නේ පිටරටකින් අපේ රටට ආක්‍රමණයක් එනවනම්, යම්කිසි ත්‍රස්තවාදී කණ්ඩායමක් මගින් ත්‍රස්තවාදය , බෙදුම්වාදය දැඩි මතධාරීත්වය හෝ ආගම්වාදය තුළින් රටට යම් ආක්‍රමණයක් වෙනවානම් කොවිඩ් වසංගතය වගේ උවදුරකින් සුනාමි වගේ ව්‍යසනයකින් ගංවතුර නායයාම් වැනි විපත් වලින් රටේ මිනිස්සු බල්ලෝ බළල්ලු මැස්සො මදුරුවො ගානට මැරෙනවා නම් , අන්න ඒකට තමයි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවා කියලා කියන්නේ.
එහෙම නැතුව රටේ මිනීමැරුමක් දෙකක් වුණා කියලා මංකොල්ලකෑමක් කප්පම් ගැනීමක් සිදු වුණා කියලා රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නේ නැහැ. ඒ මිනීමැරුම් සිද්ධ වෙන්නේ පෞද්ගලික කෝන්තර වලට හෝ පවුල් ආරවුල් මත, ඒ නිසා එවන් සිදුවීම් ජාතික ආරක්ෂාවට කිසිසේත්ම තර්ජනයක් වෙන්නේ නැහැ .
අනික මේ වෙනකොට රටේ පැවති සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකාරකම් සැලකිය යුතු මට්ටමකින් පාලනය කරල තියෙන්නේ. එවගේම බූස්ස බන්ධනාගාරය අධිආරක්ෂිත කලාපයක් කරලා පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ නමගිය අපරාධකරුවන් එහි රඳවලා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒ තුළින් අපිට හැකි වෙලා තිබෙනවා බන්ධනාගාර වල සිට මෙහෙයවපු ජාවාරම් නවත්තන්න .
ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් මිනීමැරුම් මංකොල්ලකෑම් පැහැරගැනීම් කප්පම් ගැනීම් වැනි දේ පාලනය වෙලා තියෙනවා . ඒත් සුළු සුළු සිදුවීම් රට තුළ සිදුවෙනවා. ඒවා අවම කිරීමට පොලීසිය විශේෂ කාර්ය බලකාය හා එක්ව කටයුතු කරමින් සිටිනවා. අපි විශ්වාස කරනවා ඉදිරියේදී ඒ තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වෙයි කියල.
Q එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් නව ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකද ?
A මෙහෙමයි අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් කියලා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් නැහැ. මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න අපි විධිමත් වැඩ පිළිවෙලක් අනුගමනය කරනව.
ඒ අනුව සෑම සතියකම එක් දිනක් ආරක්ෂක ලේකම් හැටියට මමත් ත්‍රිවිධ හමුදාපතිවරුන් පොලීසිය ඇතුළු ආරක්ෂක අංශයට සම්බන්ධ නිලධාරීන් හමුවෙලා විශේෂ සාකච්ඡාවක් කරල පසුදින ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් හමුවෙලා අදාළ තොරතුරු දැනුම් දෙනව. එහිදී ලැබෙන උපදෙස් අනුව අපි රටේ ආරක්ෂක වැඩපිළිවෙළ දියත් කරනව. එහෙම නැතුව උත්සව කාලෙට කියල අලුතෙන් වැඩපිළිවෙළක් නැහැ. හැබැයි අලුත් අවුරුදු සමයේ දී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යෙදවිය යුතු යැයි හැඟුණොත් අපි ආරක්ෂක මණ්ඩලයේදී සාකච්ඡා කරල ඊට අවශ්‍ය පියවර ගන්නව.
මේ විදියේ වැඩපිළිවෙළක් අපි කරගෙන යන නිසා තමයි පසුගිය කාලයේ රටට බෝම්බ තර්ජනයක් ත්‍රස්තවාදී තර්ජනයක් එල්ල වෙයි කියලා කටකතා යනකොට ආරක්ෂක ලේකම් වරයා හැටියට මම ඇවිත් නැහැ එහෙම තර්ජනයක් මේ රටට නැහැ කියලා වගකීමෙන් ප්‍රකාශ කළේ.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
