මෙරට තුළ සිදුවන මාර්ග අනතුරුවලින් දිනකට පුද්ගලයින් 7 දෙනෙකු හෝ 8 දෙනෙකු මියයන බව රථවාහන පොලීසිය කියයි.
අනතුරුවලින් බරපතළ තුවාල ලබන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා අවධාරණය කළේ, කුමන බාධා පැමිණියත් එළැඹෙන ජූලි පළමුවැනිදා සිට වාහනවල සවිකර ඇති අනවශ්‍ය කොටස් ඉවත් කරන බවයි.
2025 මැයි 30 වනදා වනවිට ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කර ඇති වාහන සංඛ්‍යාව 85 ලක්ෂ 42,000ක් වනවා. (85,42,000) එයින් ලක්ෂ 49ක් යතුරු පැදි. ලියාපදිංචි ත්‍රීරෝද රථ සංඛ්‍යාව ද 11 ලක්ෂ 85,000ක් වනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ යතුරු පැදි, ත්‍රිරෝද රථ සහ රථවාහන ලක්ෂ 60කට අධික සංඛ්‍යාවක් එදිනෙදා මාර්ගයට ධාවනයට එක්වෙන බවයි.
එමෙන්ම, ප්‍රධාන මාර්ග 5කින් කොළඹ නගරයට පමණක් දෛනිකව ඇතුළු වන රථවාහන සංඛ්‍යාව ලක්ෂ 5කට අධිකයි.
මෙලෙස වාහන විශාල සංඛ්‍යාවක් ධාවනයට එක්වෙද්දී සිදුවන මාර්ග අනතුරුද දිනෙන් දින ඉහළ යනවා.
පොලිස් වාර්තා අනුව 2022 දී සිදුවූ මාර්ග අනතුරු 2420 කින් මියගොස් ඇති සංඛ්‍යාව 2540ක්.
2023 දී රිය අනතුරු 2231 ක් සිදුව ඇත්තේ, පුද්ගලයින් 2341 දෙනකුට මරු කැඳවමින්.
2024 දී රිය අනතුරු 2401ක් සිදුව ඇති අතර 2521ක් මියගොස් තිබෙනවා.
මේ වසරේත් ජනවාරි 1 සිට ජුනි 15 දක්වා කාලසීමාවේදීත් පමණක් මාර්ග අනතුරු 1133 ක් සිදුවී ඉන් 1199 දෙනෙකු මියගොස් තිබීම අවාසනාවන්ත තත්ත්වයක්.
(රථවාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා මෙසේ පැවසීය)
යුද්ධයෙන් මිය ගියේ 28,000 ක් පමණයි, මේ ඛේදජනක තත්ත්වය වසර දහයකට තිස් දාහක ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේකෙ බරපතළ තත්ත්වයේ තියෙන්නේ උදෑසන නිවසින් රැකී රක්ෂා සඳහා තම තමන්ගේ රාජකාරීවලට නිවසින් පිටවන ජීවිත 7/8 ත් අතර ප්‍රමාණයක් යළි නිවසට යන්නේ මළ සිරුරු වශයෙන්. යතුරුපැදිකරුවන් සහ පසුපැදිකරුවන්
800 ජීවිතක්ෂයට පත්වෙනවා වසරකට.දිනකට 125 ක් පමණ බරපතළ තුවාල ලබද්දී ,20/25 ක් ඇඳ මත සිය ජීවිතය කල්ගත කරන්න සිදුවෙනවා.
අපරීක්ෂාකාරී රිය පැදවීම , නොසැලකිලිමත් ධාවනය , අධික වේගයෙන් රිය පැදවීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය පාවිච්චිය සහ අධික විඩාවන් නිසා නින්ද යාම මේ අනතුරුවලට හේතු වී තිබෙනවා.
2024 වර්ෂයේදී ගෙවල්වලින් පදිකයන් ලෙස ගමන් කරපු 815 ක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා.
( කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා මෙසේ පැවසීය)
ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර කරන්න අයි. සි. යු ඇඳන් 42 ක් තියෙනවා.
හැමතිස්සෙම 25/30 වාහනවලින් හදිසි අනතුරටවලට ලක්වූවන්. නිහඬ වසංගතයක් වෙලා තියෙනවා මේ මාර්ග අනතුරු.