එළවළු හා පලතුරු තොග ලැබීම දිගින් දිගටම අඩු වීම නිසා කොළඹ මැනිං වෙළෙඳ පොළ වැසී යාමේ තත්ත්වයකට පත්වෙමින් තිබෙන බව සීමා සහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතිය සඳහන් කරයි.
මීට අමතරව ආර්ථික මධ්‍යස්ථානවලටත් එළවළු හා පලතුරු තොග ලැබීම දිගින් දිගටම අඩුවෙමින් තිබෙන බවත්, ගොවිජනතාව දුක්මහන්සියෙන් වගා කරන එළවළු හා පලතුරු ටික අදාළ ස්ථානවලට ප්‍රවාහනය කර ගැනීමට නොහැකි වීම නිසා ගොවිජනතාවත් දැඩි ලෙස අසරණ වී සිටින බවත් එම සංගමයේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතා පැවසීය.
මේ නිසා මැනිං වෙළෙඳ පොළ මගින් ලොරි රථ ගෙවිබිම්වලට යවා ගොවි ජනතාවගේ නිෂ්පාදන කොළඹට ප්‍රවාහනය කර බෙදාහැරීමට තීන්දුවක් ගෙන තිබෙන බවත්, මේ අනුව බස්නාහිරි පළාතට හා අවට ප්‍රදේශවල එළවළු හා පලතුරු හිඟයට යම් විසඳුමක් ලැබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ වනවිට තක්කාලි කිලෝවක මිල රුපියල් 700 ඉක්මවා ගොස් තිබෙන බවත්, මෑ කරල්, බෝංචි, කරවිල ඇතුළු සියලුම එළවළුවල මිල ගණනන් විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත් සඳහන් කළේය.