මැදපෙරදිග යන ගුවන් ගමන් සියල්ල අද පස්වරුව තෙක් අවලංගුයි
මැදපෙරදිග කළාපයේ සියලුම රටවල ගුවන් අවකාශයන් වසා දමා ඇති හෙයින් , කටුනායක ගුවන් තොටුපොළේ සිට මැදපෙරදිග බලා පිටත්ව යාමට නියමිත ගුවන් ගමන් සියල්ල 03/01 දින සවස 05.00 වන තෙක් තාවකාලිකව අත්හිටුවා ඇති බවත් , 03/01 දින උදෑසන 06.15 වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් ගමන් 18 ක් සහ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් ගමන් 25 ක් අවලංගු කර ඇති බවත් කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
එසේම 02/28 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළෙන් මැදපෙරදිග බලා පිටත්ව ගිය ෆිට්ස් එයාර් සහ එයාර් ඇරේබියා ගුවන් යානා 02 ක් 02/28 දින ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
අවසාන ගමනාන්තය මැදපෙරදිග හෝ මැදපෙරදිග හරහා වෙනත් ගමනාන්තයන් වෙත ගමන් කිරීමට සැළසුම් කර ඇති ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට පෙර තම ගුවන් සේවා නියෝජිතයන් ඇමතීම , ඔවුන්ගේ විද්‍යුත් තැපැල් ලිපි ( e.mail ) සහ කෙටි පණිවිඩ ( S.M.S.) වෙත සිය අවධානය යොමු කිරීම සිදු කරන ලෙසත් , නැතිනම් කටුනායක ගුවන් තොටුපොළ www.airport.lk වෙබ් අඩවිය වෙත පිවිස ගුවන් ගමන් විස්තර පිළිබද යාවත්කාළීන වන ලෙසත් කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ඉල්ලීමක් කළේය .
මෙම තත්වය යටතේ ශ්‍රී ලංකාවෙන් බැහැර වී යාමට නොහැකි වී ඇති විදේශීය ගුවන් මගීන් සදහා , මෙරට රැදී සිටීමට තවත් දින 07 ක වීසා සහන කාළයක් ආගමන විගමන පාළක ජනරාල්වරයා විසින් ලබා දී ඇති බවට තොරතුරු කටුනායක ගුවන් තොටුපොළ වෙත වාර්තා වී තිබේ .
එහෙත් ඕස්ට්‍රේලියාව , චීනය , මැලේසියාව , ඉන්දුනීසියාව , ඉන්දියාව , තායිලන්තය , ප්‍රංශය , එංගලන්තය සහ ජර්මනිය බලා පිටත්ව යන සහ එම රටවල සිට පැමිණෙන ගුවන් යානා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
