ගාලුමුවදොර පිටියේ පැවති ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධියෙන් පසු රටපුරා ඇතිවූ ප්රචණ්ඩ ක්‍රියා වලදී නිවාස සහ දේපල ගිනි ගැනීමට සහ විනාශයට පත්වු බව කියමින් හිටපු මැති ඇමතිවරු පිරිසකට පසුගිය රජය විසින් වන්දි වශයෙන් නීති විරෝධී ආකාරයෙන් ගෙවා ඇති මහජන මුදල් යළි අයකර ගැනීමට නියම කරන්කැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් 13 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) දින නියම කළේය.
නිවාස සහ දේපල ගිනි ගැනීමට සහ විනාශයට ලක්වු බව කියමින් හිටපු මැති ඇමතිවරු පිරිසකට වන්දි ගෙවීමේදී මහජන මුදල් අවභාවිතා වී ඇති හෙයින් ඒ පිළිබඳ විමර්ශනයක් කරන්නැයි ඉල්ලා ආචාර්ය නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා ගොනු කර ඇති පෙත්සම කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස දින නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.
සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම පරිසරවේදියකු වන නීතිඥ ආචාර්ය. රවින්ද්‍රනාත් දාබරේ මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ආරක්ෂක ඇමැති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරල් කමල් ගුණරත්න, හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශ්‍රවේන්ද්‍ර සිල්වා, හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න, හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරුන් වන ටිරාන් අලස් සහ ප්‍රසන්න රණතුංග, වත්මන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, නීතිපතිවරයා ඇතුළු 15 දෙනෙකු නම් කර ඇත ි.
ගාලුමුවදොර පිටියේ පැවති ‘ගෝඨා ගෝ ගම’ අරගලයට 2022 මැයි 09 වැනිදා පහරදීමේ සිද්ධියෙන් පසු රටපුරා ඇති වූ ප්රචන්ඩ ක්‍රියා හේතුවෙන් නිවාස සහ දේපළ විනාශ වූ බව කියන හිටපු මැති ඇමතිවරු ඇතුළු පුද්ගලයින් 43 දෙනෙකුට පසුගිය රජය විසින් වන්දි වශයෙන් රුපියල් කෝටි 122 ක මුදලක් ගෙවා ඇති බව පසුගිය පෙබරවාරි 05 වැනිදා අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව පෙත්සමේ සදහන් වේ.
ස්වභාවික ආපදාවකදී පවා දේපළ විනාශ වීම වෙනුවෙන් එක් පුද්ගලයෙකුට ගෙවිය හැකි උපරිම වන්දි මුදල රුපියල් ලඞෂ 25 ක්ව තිබියදී එම නීතිමය සීමාව ඉක්මවා මැති ඇමතිවරු ඇතුළු පිරිසට වන්දි ගෙවීමට පසුගිය රජය කටයුතු කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රකාශයෙන් අනාවරණය වූ බව පෙන්වා දෙන පෙත්සම්කරු වන්දි ගෙවීමේදී මහජන මුදල් දැඩි ලෙස අවභාවිතා වී ඇති බවටද චෝදනා කර සිටී.
නීත්‍යානුකූලව හිමි විය යුතු වන්දියකට වඩා ඉතා වැඩි වන්දි මුදල් ප්‍රමාණයක් දේශපාලන බලය අවභාවිතා කරමින් එවක සිටි මැති ඇමතිවරුන් ලබාගෙන ඇතැයිද මහජන මුදල් අවභාවිතා කර ඇති බව එම කරුණු මඟින් ඉතා හොඳින් පැහැදිලි බවද සඳහන් කරන පෙත්සම්කරු රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ වගකීම පැවරී තිබු රජයක් වශයෙන් 2022 මැයි 09 වැනිදා ඇති වු සිද්ධීන් සමඟ එම වගකීම් ඉටුකිරීමට එවක ජනාධිපතිවරයා සහ ආරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ සහ එවකට සිටි මහජන ආරක්ෂක ඇමැතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන් අසමත් වූ බවද සදහන් කර ඇත.
රටේ ඇතිවූ ප්රචණ්ඩ ක්‍රියා මැඩ පැවැත්වීමට බලධාරීන් අසමත් වීම හේතුවෙන් රට තුළ අරාජික තත්ත්වයක් ඇති වූ බවත් අනතුරුව අති වු සිද්ධීන් වලින් විනාශයට පත්වු නිවාස සහ දේපල වෙනුවෙන් වන්දි දීමට පසුගිය රජය කටයුතු කර ඇති බවත් සඳහන් කරන පෙත්සම්කරු වගඋත්තරකරුවන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් තමන්ගේ මෙන්ම මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා සිටී.
සිද්ධීන් වලින් විනාශයට පත්වු නිවාස සහ දේපල පිළිබඳව මෙන්ම ඔවුන් ලබාගත් වන්දි සම්බන්ධයෙන් තක්සේරු කිරීමට පියවර ගන්නැයිද ඒ වෙනුවෙන් මැති ඇමැතිවරුන් ඇතු`ථ පුද්ගලයින් වන්දි වශයෙන් අනීතික අන්දමින් ලබාගෙන ඇති මුදල් යළි අයකර ගැනීමට පියවර ගන්නැයිද ඉල්ලා සිටින පෙත්සම්කාර ආචාර්ය නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා දේපළ හානි වූ මැති ඇමතිවරුන්ට විනිවිදභාවයකින් යුත් නීත්‍යානුකූල ක්‍රමවේදයක් හරහා වන්දි ගෙවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටී.
පෙත්සම කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් පෙත්සම සලකා බැලීමට තීරණය කළ විනිසුරු මඩුල්ල පෙත්සම නොවැම්බර් 13 වැනිදා කැඳවීමට නියම කළේය.
සචිත්ර ගුණසේකර/රන්ජන් කටුගම්පොල