මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය කිරීමට මුවාවී ආණ්ඩුව ප්‍රාදේශීය සභා මැතිවරණය කල් දැමීමට සූදානම් වන බවත්, මෙවැනි 'සිල්ලර' වැඩ නොකර මැතිවරණ පවත්වන ලෙස ආණ්ඩුවට සඳහන් කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
එමෙන්ම ඉදිරියේදී ගෙනෙන අයවැයෙන් ප්‍රාදේශීය සභා මැතිවරණයට අවශ්‍ය මුදල් වහාම වෙන් කරවා ගන්නා ලෙස මැතිවරණ කොමිසමට සඳහන් කරන බව අද (30දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
"ආණ්ඩුවේ ඇමතිවරයෙක් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය කිරීමට පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කරන්න කියලා කථානායකට ලිපියක් යවලා තිබුණා. මම එතුමාට මතක් කරන්න කැමතියි පාර්ලිමේන්තුව තුළ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය කරන්න කමිටුවක් පත් කළේ 2012දී.
එවකට තිබුණු ආණ්ඩුව දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්නවෙක් කමිටුවක් පත් කළා. 2015දී ආණ්ඩුව වෙනස් වුණාම යහපාලන ආණ්ඩුවත් දිනේෂ් ගුණවර්ධන මහතාට ඒ කටයුත්ත කරගෙන යන්න කියලා කිව්වා. ඉන්පසු පොහොට්ටුවේ ආණ්ඩුව ආවමත් දිනේෂ් ගුණවර්ධන මහතාට ඒ කටයුත්ත කරගෙන යන්න කිව්වා. කොටින්ම කියනවා නම් දිනේෂ් ගුණවර්ධන මහතා 2012 ඉදන් අද වෙනකන් අවුරුදු 10ක් මේ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපති ලෙස වැඩ කරනවා. හොඳටම කාලය තිබුණා අවශ්‍ය නීති රීති ප්‍රතිසංස්කරණ කරන්න.
එතුමා මැතිවරණ කමිටුවේ සභාපති වෙනකොට හිටියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හිටියේ 2000යි. එතුමා ඒක 4000ක් කළා. යහපාලන ආණ්ඩුව කාලයේ එතුමා ඒක 8000ක් කළා. දැන් ආණ්ඩුව කියනවා මේ ප්‍රමාණය වැඩියි, මේක අඩු කරන්න ඕනී කියලා. ඒක ගැන අපිට තර්කයක් නෑ. ඒත් අපි කියන්නේ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ මත හිඳිමින් ප්‍රාදේශීය මැතිවරණය කල් දාන්න බෑ කියලා.
ඒක වෙලාවට පවත්වන්න ඕනී. ප්‍රාදේශීය සභා මැතිවරණය කට ලගට ඇවිල්ලා තියෙද්දි රජය කියනවා නීති ප්‍රතිසංස්කරණය කරන්න ඕනී කියලා. මේක ඉතාමත් පැහැදිලියි මැතිවරණ කල් දාන්න දරණ උත්සාහයක්. අපි කියනවා රජයට මේ වගේ සිල්ලර වැඩ නොකර මැතිවරණයක් තියන්න. ඒ වගේම මැතිවරණ කොමිසමට කියනවා ඉදිරියේදී අයවැයක් එනවා. ඉතින් ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වන්න මුදල් ඉල්ලන්න වහාම."