මැතිවරණයක් පැවැත්වීම හරහා ආර්ථිකය බංකොළොත්භාවයකට වැටීමේ වේගය වැඩිදියුණු කර නොගන්නා ලෙස ආණ්ඩුවට ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
හෙතෙම මේ බව සඳහන් කළේඅපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් සම්බන්ධයෙන් ඊයේ(10දා) දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා,
"1978දී රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 27-28%ක් වුණු රටේ බදු ආදායම අද 10%ට අඩුවෙලා තිබෙනවා. මූල්‍ය නියාමනය කරන ප්‍රධාන ආයතනය වන මහබැංකුවේ පෙබරවාරි මුල් සතියේ ශුද්ධ වත්කම් ප්‍රමාණය ඍණඩොලර් බිලියන 1.9යි. විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,078යි. චීනයෙන් ලබා දුන් අතමාරුව අත්හැරියාට පස්සේ ආසන්නයෙන් ඩොලර් මිලියන 500ට මදක් වැඩි ප්‍රමාණයක් තමයි පරිහරණය කළ හැකි වත්කම් තිබෙන්නේ.
ඒ විතරක් නෙවෙයි පෙබරවාරි වන විට රුපියල් හිඟය තිබෙනවා රුපියල් බිලියන 79ක්.ඒ වගේම බැංකු පද්ධතිය දිහා බැලුවම මේ අවුරුද්දේ ජනවාරි මාසය වන විටරජයට ණය දීලා තිබෙනවා ආසන්නයෙන් ට්‍රිලියන 4.1ක්. රජයට අයත් රාජ්‍ය ආයතනවලට ණය දීලා තිබෙනවා ට්‍රිලියන 1.1ක්. ඒ කියන්නේ ට්‍රිලියන 5.2ක් (බිලියන 5200ක්) රාජ්‍ය බැංකු ආණ්ඩුවට ණය දීලා තිබෙනවා.
අතනින් මෙතනින් මිලියන 200ක් හෝ මිලියන 500ක් ඉල්ලගෙන අතමාරු කරගෙන යන්න පුළුවන් මට්ටමේ අර්බුදයක නෙවෙයි අපි ඉන්නේ. ස්වෛරී රාජ්‍ය බිඳවැටීමක් ඉදිරියේයි අපි අද ඉන්නේ. ඒ වගේම ගැසට් නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා ඊ.පී.එෆ්.සහ ඊ.ටී.එෆ්.පිළිබඳ. මේ මගින් රුපියල් බිලියන 75ට වැඩි මුදලක් සූරාකන්න බලාපොරොත්තු වෙනවා.
දැන් ආණ්ඩුව අපිට පේනවා සංවර්ධන සංග්‍රාමයක යනවා. මුදල් ඇමතිතුමා වැඩ ලක්ෂයක් යෝජනා කරලා තිබෙනවා. ගිය අවුරුද්දේ මහාමාර්ග ඇමතිතුමා පාරවල් කිලෝමීටර් ලක්ෂයක් කාපට් කරන්න ආරම්භ කරලා තිබෙනවා. බොහොම හොඳයි සංවර්ධන කරන එක. නමුත් අද රටට මුදල් නැතිනම්, ඖෂධ, කිරිපිටි හිඟයක් තිබෙනවා නම් මම බොහොම පැහැදිලිව කියනවා ලබන මාර්තු මාසයේ අග වන විට මේ විදුලිබල ප්රශ්නය විසඳා ගත්තේ නැතිනම් අනිවාර්යෙන්ම මේ දැන් සිදුවන පැයේ හෝ පැය එකහමාරේ විදුලි කප්පාදුව නෙවෙයි, විදුලිබල පද්ධතියම අනතුරට පත්වෙන්න නියමිතයි.
අපි මුදල් ඇමතිතුමා ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලනවා ඡන්දයක් පැවැත්වීමේ අරමුණ සහිතව මේ ආකාරයට මුදල් අච්චු ගැසීම තුළින් ආර්ථිකය ස්වෛරී බංකොළොත්භාවයකට වැටෙන්න යන ඒ වේගය වැඩිදියුණු කරගන්න එපා කියලා" යනුවෙන් සඳහන් කළේය.
