මාස 06 සිට අවුරුදු 03 දක්වා දරුවන්ට ත්‍රිපෝෂ ලබාදීම නවතා දැමීම නිසා හා වයස අවුරුදු 03ත් අවුරදු 05ත් අතර අඩු බර දරුවන්ට ත්‍රිපෝෂ ලබාදීම නිසි අයුරින් සිදුනොවීම නිසා පෝෂණය සම්බන්ධ ගැටලු ඇති වෙමින් තිබෙන බව සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය පවසයි.
මාසයකට වරක් දරුවන්ගේ බර කිරීම සිදුකරන බවත්, එහෙත් මාස 06ත් අවුරුදු 03ත් අතර දරුවන්ට ත්‍රිපෝෂ ලබා නොදෙන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදී තිබෙන අතර, මේ නිසා මාස 06ත් අවුරදු 03ත් අතර වයසේ පසුවන අඩු බර දරුවන්ටවත් ත්‍රිපෝෂ ලබාදීමට නොහැකි වී තිබෙන බවත් එම සංගමයේ සභාපතිනී දීප්ති ජයතුංග මහත්මිය සඳහන් කළාය.
දැනට පවතින ක්‍රමවේදයට අනුව ත්‍රිපෝෂ ලබාදීම සිදුකරනු ලබන්නේ, ගැබිණි මව්වරුන්ට හා වයස අවුරුදු 03ත් අවුරුදු 05ත් අතර අඩු බර සහිත දරුවන්ට පමණක් බවත්, එහෙත් අදාළ පිරිස්වලට ලබාදීමට පවා මාසයකට වරක් නිසි ලෙස ත්‍රිපෝෂ නොලැබෙන බවත් ඒ මහත්මිය පවසා සිටියාය.
සමහර දිස්ත්‍රික්කවලට මාස කිහිපයකට වරක් ත්‍රිපෝෂ තොග ලැබෙන බවත්, මේ නිසා වයස අවුරුදු 03ත් වයස අවුරුදු 05ත් අතර වයසේ අඩු බර සහිත දරුවන්ට පවා අඛණ්ඩව ත්‍රිපෝෂ ලබාදීමට නොහැකි වී තිබෙන බවත් සභාපතිවරිය පවසා සිටියේය.
මාසයකට වරක් බර කිරීම සිදුකරන නිසා මාස 06 සිට අවුරුදු 05 දක්වා වයස් කාණ්ඩවල අඩු බර සහිත දරුවන්ට ත්‍රිපෝෂ ලබාදෙන ලෙස බොහෝ දෙමවුපියන් විසින් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගෙන් ඉල්ලීම් කරමින් තිබෙන බවත්, මෙවැනි අවස්ථාවල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සමග අනවශ්‍ය ගැටුම් ඇති කර ගන්නා අවස්ථාද ඇති බවත් ඒ මහත්මිය සඳහන් කළාය.
මේ නිසා මෙම වයස් කාණ්ඩවල පසුවන අඩු බර සහිත දරුවන්ට හා ගැබිණි මව්වරුන්ට අදාළ කාල සීමා තුළ අඛණ්ඩව ත්‍රිපෝෂ ලබාදීමට වැඩපිළිවෙළක් සකස් විය යුතු බවද සභාපතිවරිය පවසා සිටියාය.