ප්‍රවීණ රංගන ශිල්පී, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රාහාර දෙකක් එල්ල කර මාස තුනක කාලයක් ගත වුවද ඊට සම්බන්ධ කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත් අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම් වලට නොහැකි වී තිබේ.
උද්දික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාර එල්ල වූයේ ඉකුත් සැප්තැම්බර් මස 17 දා ය. වෙඩි ප්‍රාහාර එල්ල වූ අවස්ථාවේ මන්ත්‍රීවරයාගේ නිවස අවට නිවාසෙවල සහ කාර්යාලවල ක්‍රියාත්මකව පැවැති තවත් සීසීටීවී කැමරා පහක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඊට අදාළ රස පරික්ෂක වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනසුරු නාලක සංජීව ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර නියෝග කළේය.
අධිකරණ නියෝග මත දැනට රජයේ රස පරීක්ෂකවරයා වත යවා ඇති සීසීටීවී කැමරා සංඛ්‍යාව 11 කි. ඒ කිසිදු කැමරාවක සටහන්ව ඇති වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තා මෙතෙක් අධිකරණයට ලැබී නොමැත.
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ ආරක්ෂාවට යොදවා සිටින ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනාට නිකුත් කර ඇති පැති අවි දෙකින් (පිස්තෝල දෙකෙන්) වෙඩි ප්‍රහාර එල්ල කර ඇද්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා එම පැති අවි දෙක (පිස්තෝල දෙක) වහාම රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා එම රස පරීක්ෂක විමර්ශනයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
අදාළ වැඩිදුර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර සිදු කෙළ කරුණු දැක්වීම්වලදී පැවසුවේ උද්දික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර ගනිමින් එල්ල කර ඇති බව කියන වෙඩි ප්‍රාහාර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අරඹා ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සඳහා උද්දික ප්‍රේමරත්න මහතාගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාට නිකුත් කර ඇති පැති අවි (පිස්තෝල දෙක) රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවීමට අවශ්‍ය බව මීට පෙර අධිකරණයට අවධාරණය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට නිකුත් කර ඇති පැති අවිවලින් (පිස්තෝල දෙකෙන්) වෙඩි ප්‍රහාර එල්ල කර ඇද්ද යන්න රස පරීක්ෂකවරයාගේ එකී විමර්ශනයේදී අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බවද කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වන අවස්ථාවේ ඒ අසල මාර්ගයක මෝටර් රථයක් ගමන් ගන්නා අයුරු සටහන්ව ඇති බව කියන සීසීටීවී දර්ශන සහිත කැමරාව රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර නියෝග කළේය.
උද්දික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසිය මගින් සිදු කරමින් පැවති සියලු විමර්ශන එම පොලීසියෙන් ඉවත් කර රහස් පොලීසියට පවරනු ලැබූවේ පොලිස්පතිවරයාගේ නියෝගකට අනුවය.
උපාලි ආනන්ද