නිවාස අහිමි මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඉදිකෙරෙන නිවාස 5,000 වැඩපිළිවෙළ යටතේ මාලඹේ ඉදිකළ නිවාස 256 කින් යුතු මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
මධ්‍යම පාන්තික පවුල් වෙනුවෙන් ඉදිකෙරෙන මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකෙරෙමින් පවතින්නේ මාලඹේ නව පුබුදු ක්‍රීඩාංගන මාවත ආසන්නයේය.
මහල් 20 කින් සමන්විත මෙම මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු 2021 වසරේ ජනවාරි 07 වන දින ආරම්භ කළ අතර එහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
“ක්‍රිසෙන්ඩෝ එපාට්මන්ට්” යනුවෙන් හදුන්වන මෙම නිවාස සංකීර්ණය නව රැකියා අවස්ථා ලබාගන්නා වෘත්තිකයන් සහ මධ්‍යම පාන්තිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘතියක් වශයෙන් ද හැඳින්වීමට පුළුවනි.
මෙම නිවාස 256, නිවාස 128 ක් බැගින් වන ඒකක දෙකකින් සමන්විතයි. එම ඒකක දෙක “A” වර්ගයේ නිවාස සහ “B” වර්ගයේ නිවාස ලෙස වර්ගකර තිබේ. “A” වර්ගයේ නිවසක් වර්ග අඩි 700 කින් ද, “B” වර්ගයේ නිවසක් වර්ග අඩි 900 කින් ද යුක්තයි.
වර්ග අඩි 700 ක “A” වර්ගයේ නිවසකට නිදන කාමර 02 ක්, විසිත්ත කාමරයක්, නාන කාමර 02 ක්, කෑම කාමරයක්, පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙයක් සහ වෙන්කළ ගබඩා ඉඩකඩ සහිත පෙදෙසක් ඇතුළත් වෙයි.
වර්ග අඩි 900 ක “B” වර්ගයේ නිවසකට නිදන කාමර 03 ක්, විසිත්ත කාමරයක්, නාන කාමර 03 ක්, කෑම කාමරයක්, පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙයක් සහ වෙන්කළ ගබඩා ඉඩකඩ සහිත පෙදෙසක් අයත් වෙයි.
මෙම මහල් නිවාස මිලදී ගැනීම සඳහා මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මඟින් ණය පහසුකම් ලබාදෙයි. ඒ මසකට 6.25% ක අවම පොළී අනුපාතයකට යටත්වයි. වසර 25 ක කාලයක් දක්වා මාසික වාරික වශයෙන් එම ණය ගෙවීමේ පහසුව ද එම බැංකු විසින් ලබා දී තීබීම ද විශේෂත්වයකි. නිවාස මිලදී ගනු ලබන පුද්ගලයින්ට වඩාත් සහන සැලසෙන ආකාරයට රජයේ උපදෙස් අනුව රාජ්‍ය බැංකු මඟින් මෙම නිවාස ණය ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නංවයි.



