මාලදිවයිනේ ප්‍රවාහන සහ ගුවන් සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන්( Capt. Mohamed Ameen) මහතා සහ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර විශේෂ සාකච්චාවක් අද ( 30 ) දින පෙරවරුවේ අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ.
මාලදිවයිනේ වෙසෙන ජනතාවට සිදු වන හදිසි අනතුරු සහ රෝගාතුර වීම් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ශ්‍රි ලංකාවට කඩිනමින් පැමිණීමට අවශ්‍ය ගිලන් ගුවන් ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීම පිලිබඳව මෙහිදී සාකච්චා කරන ලදී.
මාලදිවයින ගුවන්සේවා අමාත්‍යවරයා කියා සිටියේ මේ දක්වා මාලදිවයින් වැසියන් හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට ඉන්දියාවට රැගෙන ගිය බවත්, එහෙත් ශ්‍රි ලංකාවේ හදිසි ප්‍රතිකාර කටයුතු වල ගුණාත්මකභාවය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී එවැනි රෝගීන් ශ්‍රි ලංකාවේ රෝහල් වලට ප්‍රතිකාර සඳහා එවීමට මාලදිවයින් රජය තීරණය කර ඇති බවයි.
මෙම වැඩපිලිවෙල පිලිබඳව අමාත්‍යවරුන් දීර්ඝ වශයෙන් සාකච්චා කල අතර පලමු අදියර යටතේ මාලදිවයින සිට කටුනායක ගුවන්තොටුපල අතර මෙම ගිලන් ගුවන් ප්‍රවාහන සේවාව ලබන මාර්තු මස 01 දා සිට ආරම්භ කීරීමට තීරණය කරන ලදී.
එම කටයුතු සඳහා අවශ්‍ය සියලු අනුමැතිය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගුවන් තොටුපල සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ බලධාරීන්ට ලබා දුන් අතර ඒ සඳහා කටුනායක ගුවන්තොටුපලේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමටත් ,එම ඒකකය සඳහා අවශය සියලු පහසුකම් ලබා දීමටත්, කටයුතු කරන ලෙසට අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතාට උපදෙස් දෙන ලදී. ඉදිරියේදී රත්මලාන ගුවන් තොටුපල සහ මාලේ අතර මෙවැනිම සේවාවක් ආරම්භ කිරීමටද මෙම සාකච්චාවේදී තීරණය විය.