මාර්ග රිය අනතුරු හේතුවෙන් දිනකට අට දෙනෙකු මියගොස් අසූ දෙනකු පමණ තුවාල ලබන බවත් 2030 වන විට රිය අනතුරු වලින් එක් පුද්ගලයෙකු හෝ මිය නොයන තත්ත්වයට පත් කිරිම තම ආයතනයේ අරමුණ බවත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට දියත් කරමින් සිටින බවත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය ශවීන්ද්‍ර ගමගේ මහතා පැවසීය .
හෙතෙම මේ බව කියා සිටියේ මාර්ග රිය අනතුරු අවම කිරීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
එහිදී තවදුරටත් අදහස් පළ කරමින් වෛද්‍ය ශවීන්ද්‍ර ගමගේ මහතා මෙසේ ද කීය.
මේ රටේ සිදුවන රිය අනතුරු අවම කිරීම සඳහා විවිධ අමාත්‍යාංශ රජය හා එක්ව ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා . එහෙත් රිය අනතුරු අඩු කරගන්නට හැකියාවක් ලැබිලා නැහැ. වර්තමානයේ සිදුවන රිය අනතුරු නිසා දිනකට 8 දෙනකු පමණ මිය ගොස් අසූ දෙනෙකු පමණ තුවාල ලබනවා.
මෙලෙස තුවාල ලබන අයගෙන් හරි අඩක් පමණ තරුණ ජීවිත. වයස අවුරුදු 15 - 64 අතර පුද්ගලයන් තමයි වැඩියෙන්ම මේ අනතුරුවලට ලක් වෙන්නෙ.සමහරුන් ජීවිත කාලය පුරාම ආබාධිත තත්ත්වයට පත් වෙනවා. අනතුරට පත් වන අය අතරින් සියයට 70 පමණ ආදායම්ලාභී පවුල්වල සාමාජිකයින්.එය මේ රටේ ආර්ථිකයට තදින් බලපානව. දරිද්‍රතාවයකින් යුත් පවුලක සාමාජිකයෙක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වුණහොත් එය සමාජ ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙනවා .
මේ රටේ වැඩිපුරම අනතුරු වලට ලක් වෙන්නේ යතුරුපැදි , පා පැදි , ත්‍රිරෝද රථ හා පදිකයින් . එම අනතුරකින් පවුලේ හම්බ කරන පුද්ගලයා මිය ගියහම ආදායම් මාර්ග සියල්ල ඇහිරෙනවා .යම් හෙයකින් ආබාධිත වුනොත් කාන්තාවට සිදුවනව සදාකාලිකවම ඔහුට ආවතේව කරන්න. එසේම සැමියා මිය ගියහොත් රැකියාවකට යන්න කාන්තාවට සිදු වෙනවා. එය සෞඛ්‍ය හෝ නීතිමය ගැටලුවකට වඩා එහා ගිය සමාජ ප්‍රශ්නයක් .
මේ අනතුරු සිදුවෙන්න ප්‍රධානතම සාධකය තමයි මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය . රියදුරන්ගෙන් බහුතරයක් අද වෙන විට මත්ද්‍රව්‍ය භාවිතා කරලා තමයි රිය පදවන්නෙ.ඒවගේම විවේක නොගැනීම , ආරක්ෂිත උපදෙස් පිලිනොපැදීම , නින්ද යාම, විධිමත් නඩත්තුවක් නොමැති මාර්ගය පැවතීම , අබලන් වාහන , මේ අනතුරු වලට තවත් හේතු.
අපේ රටේ තිස් වසරක යුධ සමයේ දී මියගිය ගණන තිස් දහසක් පමණ .නමුත් 2009 වසරේදී රිය අනතුරු හේතුවෙන් 2839 ද ,2020 වසරේදී 2141 මියගොස් තිබෙනවා .2009 වසරේ සිට මේ දක්වා බැලුවොත් තිස් වසරක යුද සමයේදී මියගිය ගණනට වඩා වැඩියි. 2022 මුල් මාසයේ දී පුද්ගලයින් 250 පමණ රිය අනතුරුවලින් මිය ගොස් තියෙනව. ඒ අනුව එක් දවසකදී මියගොස් ඇති ගනන අට දෙනෙක්. මෙය බරපතළ කාරණයක් . මේ අනතුරුවලින් 51% ත්‍රිරෝද රථ සහ යතුරුපැදි වලින් සිදුවෙන්නේ .
මේ අනතුරු අවම කිරීමට ලෝක බැංකු නිර්දේශ වලට අනුව ආරක්ෂික මාර්ග , ආරක්ෂිත ක්‍රමවේද , ආරක්ෂිත වාහන, ආරක්ෂිත වේගය සහ මහජනතාවගේ ආරක්ෂාව යන ක්‍රමවේද හඳුන්වා දී තිබෙනවා .
මීට අමතරව අපේ රටේ විවිධ අවශ්‍යතා සඳහා මාර්ග කඩතොලු කිරීම , ඒවා යථා තත්ත්වයට පත් නොකිරීම , මංතීරු විධිමත්ව නොතිබීම , පදිකයින් මාර්ග නීති පිළි නොපැදීම . මාර්ගය දෙපස ජංගම වෙළඳසැල් පවත්වාගෙන යාම , අනාරක්ෂිත ලෙස මාර්ගය දෙපස රථගාල් කිරීම , ඇතුළු කරුණු රැසක් පෙන්වා දෙන්න පුළුවන් .
මේ අනතුරු තවදුරටත් මෙහෙම ගියොත් අනාගතයේදී බරපතළ විපාක වලට අපිට මුහුණ දෙන්න අපිට සිදු වේවි. . ඒ නිසා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ලෙස වැඩපිළිවෙළ රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපි සැලසුම් කරනවා . එහි පළමු අදියර ලෙස විවිධ ක්‍රම ඔස්සේ ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා
යම් හෙයකින් ඔබ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණි කෙනෙක් විය හැකියි. ඒ එන හැම අවස්ථාවකදීම ඔබ අතට දැනුවත් කිරීමේ අත් පත්‍රිකාවක් ලැබිල ඇති. මෙය රටපුරා පදිකයින් හා රියදුරන් දැනුවත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.
එහි පළමුවැන්න තමයි ඔබ දන්නවාද ? යනුවෙන් සඳහන් අත්පත්‍රිකාව .දෙවැන්න මහාමාර්ගයේ ගමන් කිරීමේදී සිතන්නට දෙයක් , රිය පදවන විට නින්ද යාම ප්‍රශ්නයක්ද ? සිව්වැන්න රිය අනතුරක දී ඔබ කළ යුත්තේ කුමක්ද ? යනුවෙන් සඳහන් අත්පත්රිකාවයි.
එහිදී ජනතාව දැනුවත් කරන්නේ හැකිතාක් දුරට පදිකවේදිකාව භාවිතා කරන ලෙසත් මාර්ග සලකුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් පාර මාරු වන විට හැමවිටම සුදු ඉර භාවිතා කරන ලෙසත් තද වැසි අවස්ථාවලදී හා අඳුරු අවස්ථාවලදී තද පැහැති ඇඳුම් ඇදීමෙන් වළකින ලෙසත් මහ මග ගමන් කිරීමේදී ජංගම දුරකථන භාවිතා නොකොට මාර්ගයේ ගමන් කරන ලෙසත්ය.
එසේම රිය අනතුරක දී ප්‍රථමාධාර ලබා දෙන ආකාරය දැනුවත් කිරීම ඉතා වැදගත්. ඒ පිළිබඳව අප ලබා දෙන අත් පත්‍රිකාවේ පැහැදිලිව සඳහන් වෙයි.
එහි සඳහන් වන ආකාරයට , ප්‍රථමාධාරයක් යනු ජීවිත අනතුරක් වැලැක්වීම. අනතුරට පත් පුද්ගලයාට සිදුව ඇති අනතුර වඩාත් තීව්ර වීමට හෝ අවදානම් වීමට පෙර ඉන් මුදවා ගැනීම. මානසික හෝ කායික සුවයක් ලබා දී අනතුරට පත් පුද්ගලයා ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම යන කරුණු දැක්විය හැක.
යම් හෙයකින් තැලීම් සීරිම් සීරීම් හා සිදුරුවීම් නිසා රුධිරය ගැලීමක් සිදුවිය හැකිය. එවන් අවස්ථාවල දී කෙලින්ම තුවාල වූ ස්ථානය තද කොට වෙළුමක් යොදන්න ඕනි, ආපදාවට ලක් වූ පුද්ගලයා හාන්සි කොට අනතුර වූ ස්ථානය හෘද වස්තුවට ඉහලින් තබන්න ඕනි. . අස්ථිවල බිඳීමක් හෝ තැලීමක් සිදුව ඇත්නම් එම ස්ථානය සෙලවීමට ලක් නොවන සේ තබා එම ස්ථානයේ අයිස් තබා සිසිල් කරන්න ඕනි.
එසේම අනතුරකට පත් වූ පුද්ගලයකු තවදුරටත් එම අනතුරෙන් බේරා ගැනීමට නම් එම පුද්ගලයා කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන්න , වේදනාවෙන් හඩමින් කෑ කෝ ගසමින් සිටින අයට වඩා නිසොල්මන්ව සිටින පුද්ගලයින් කෙරෙහි මුලින් අවධානය යොමු කරන්න. එවැනි පුද්ගලයින්ට උදව් කිරීමේදී බෙල්ලට හෝ කොන්දට හානි නොවන සේ තැබීමට වගබලා ගන්න. එසේ නොමැති වුවහොත් ඔහු හෝ ඇය බරපතළ තත්ත්වයකට පත්විය හැකිය .
එසේම එවැනි පුද්ගලයින් රෝහල්ගත කිරීමකදී ත්‍රීරෝද රථ සහ කාර් වැනි කුඩා වාහන භාවිත නොකරන්න.
තවද අනතුරකදී හානියට පත් වාහනයට වඩා සැලකිලිමත් විය යුත්තේ මිනිස් ජීවිතයට බව කිව යුතුයි.
මේ තුළින් අපි බලාපොරොත්තු වන්නේ 2030 වනවිට මෙරට රිය අනතුරුවලින් කිසිදු පුද්ගලයකු මරණයට පත් නොවන තත්වයට පත් කර ගැනීමටයි. මේ සඳහා ඔබ සියලු දෙනාගේ සහයෝගය ලබාදෙන ලෙස ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය ශවීන්ද්‍ර ගමගේ මහතා කියා සිටී.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න