මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙළ ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ මේ බව පැවසීය.
තවදුරටත් එය ශක්තිමත් කිරීමට ප්‍රායෝගික සහ අරමුණු කරා ළඟා විය හැකි ක්‍රමවේදයක් අනුව ඉදිරියට යෑමෙන් මානව හිමිකම් පිළිබඳ ශ්‍රී ලංකාවට ඇති සියලු ගැටලු නිරාකරණය කරගත හැකි වනු ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ සමීප ප්‍රායෝගික මිත්‍රයෙකු ලෙස සහයෝගයෙන් කටයුතු කිරීමට සැමවිටම සූදානමින් සිටින බව ද සාමිවරයා පැවසීය.දකුණු ආසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඉන්දියානු සාගර කලාපය, මධ්‍යම ආසියාව, පොදු රාජ්‍ය මණ්ඩලය සමග සහයෝගීතාව ඇති කිරීම සඳහා ක්ෂේත්‍ර රැසක වගකීම් පැවරී ඇත්තේ තාරික් අහමඩ් සාමිවරයාට ය.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් , පළමු ලේකම් මැතිව් ඩීත් , තාරික් අහමඩ් සාමිවරයාගේ සහකාර ඉසබෙල් ස්කොට්, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වුහ.