ගෝඨාභ රාජපක්ෂ මහතා බලයට ගෙනත් රට හදයි කියා බලාපොරොත්තු වූ අය වර්තමානය වන විට පොහොට්ටුවට යළි එය කළ නොහැකි බව දන්නා බවත් එම පිරිස මෙනම එක්සත් ජාතික පක්ෂයේ බොහෝ අය අද ජාතික ජන බලවේගයට එකතුවෙමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කළාවැව ආසන සමුළුව අමතමින්ය. අනුර කුමාර දිසානායක මහතාගේ උපන් ගම් පියස වන තඹුත්තේගම නගරයේ බස් නැවතුම්පලෙහි මෙම ජන හමුව පැවැත්විණි.එම ජනහමුව සඳහා අනුර කුමාර දිසානායක මහතාගේ මවද සහභාගී වී සිටියහ.මෙම ජනහමුව ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක, වසන්ත සමරසිංහ මහතා විසින් සංවිධානය කර තිබිණි.
“අසූ ගණන් වල අග භාගයේ ආවා දුප්පතාගේ හිතවතා කියලා, 1994 ආවා විහාර මහා දේවී ලෙස, 2005 දී ආවා දුටුගැමුණු ලෙස, 2015 දී ආවා පොලොන්නරුවේ ගැමියා ලෙස, ඊට පස්සේ ආවා වැඩ කරන විරුවා, ඊට පස්සේ වැඩකරන විරුවාපට්ටන්ගහගෙන ගෙදර ගියා. දැන් ආසියාවේ ලොකුම මොළය ඇවිල්ලා කියනවා. විවිධ ආකාරයේ විවිධ වේශනිරූපනයෙන් එනවා. සාටක දාගෙන එන්න පුලුවන්, ජාතික ඇඳුම ඇඳගෙන එන්න පුලුවන්, ඩයිවර් මහත්තයෙක් වගේ එන්න පුලුවන්.
ටයිකෝට් දාගෙන එන්න පුලුවන් ඔය මොන වේශයෙන් ආවත්, අවුරුදු 74 ක් මේ රට විනාශ කරපු ඒජන්තයින්, මොන වේශයෙන්ද ආවේ නැත්තේ, විවිධ වේශයන්ගෙන් ආවා. කවර වේශයෙන් ආවත් දශක ගණනාවක් එකම මාවතක ගමන් කරමින් සිටින කණ්ඩායමක් ආවේ, එකම ආර්ථික ප්‍රථිපත්ති, එකම දේශපාලන සංස්කෘතිය, එකම ආකාරයේ හොරකම, එකම ආකාරයේ නාස්තිය, එකම ආකාරයේ රට විනාශ කිරීම.
අපි වෙනස්කම් රැසක් කරනවා,දේශපාලනය හරහා ඉතා කුඩා පවුල් සංස්ථා කීපයක් අපේ රටේ සමස්ථ ජාතික ධනය එකතු කර ගෙන තියෙනවා. මේ රටේ පහළ පන්තියේ මිනිසුන්නටත් මේ රටේ දේශපාලන සුක්කානම හසුරුවන්න පුලුවන් වර්ගයේ නව දේශපාලනයක් මේ රට තුළ ස්ථාපිත කරනවා.
අපේ රටේ මේ විනාශයට ප්‍රධානම හේතුව හොරකම, මේක සරල ප්‍රශ්නයක් නමෙයි. අපේ රටේ විශාල ජාතික ධනයක් මේ ඉතා කුඩා කණ්ඩායමක් පොදි බැඳගෙන තිබෙනවා. හැබැයි දේශපාලඥයෝ විතරක් නෙමෙයි. අපි මේ හැප්පෙන්නේ රනිල් එක්ක, සජිත් එක්ක, මහින්ද එක්ක ඒ පෙනුමට, ඒ ගොල්ල එක්ක එකතු වුණ විශාල ජාලයක් තියෙනවා.
එක දේශපාලකයෝ, දෙක අපේ රටේ හොඳ ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් නොවන අතලොස්සක් වන ජාවාරම්කරුවන්, ඒ ජාවාරම්කාරයෝ තමයි කොවිඩ් වසංගතය එනකොට ඇන්ටිජන්ට් කිට් වලින් ගහන්නේ. ඒ ජාවාරම්කාරයෝ තමයි සීනී ටික ගේන කොට බද්දෙන් ගහන්නේ. ඒ ජාවාරම්කාරයෝ තමයි ගල් අඟුරු ටික ගේන කොට , තෙල් ටික ගේන කොට ඒකෙන් ගහන්නේ. ඒ ජාවාරම්කරුවන්ට ඉතා හොඳීන් අත්උදව් දෙන නීතිය නමලා දෙන නිළධාරීන් ටිකක් ඉන්නවා.

අපේ රටේ පරිපාලන සේවයේ නිළධාරීන් 2400 ක් ඉන්නවා, ඒකෙන් 100 ක් විතර උඩ නිළධාරීන් ඉන්නවා මේ වළල්ල හැදෙන්නේ එහෙම. මත නිර්මාණය කරලා ඉස්සරහට ගෙනියන්න පුලුවන් මාධ්‍ය ජාලයක් තියෙනවා. මාධ්‍ය අයිතිකාරයොත් ඉන්නවා මේකේ. මම දන්නවා මේ කෑල්ල ඔය මාධ්‍ය එකකවත් යන්නේ නැති බව.
මේ ජාවාරම්කාර මාධ්‍ය අයිතිකරුවන් කීපදෙනෙක් ඉන්නවා .ඒ අය තමයි මේ මත පොම්ප කරන්නේ. මහින්ද රාජපක්ෂට පොත් ලියලා, ගීත ලියලා, චිත්‍රපටි හදලා, ඒවා පෙන්නලා, අන්තිමට ජැක්සන් ඇන්තනී කිව්වා මහින්ද රාජපක්ෂ බුදුන්ගේ ඥාතී කිව්වා. ගිරුවාපත්තුවට සුද්ධෝදන රජ්ජුරුවන්ගේ සම්බන්ධයක් තියෙනවා කිව්වා. කිසි ඉතිහාසඥයෙක් ප්‍රශ්න කලේ නෑ.
පහුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂව මාධ්‍ය මගින් හැංගුවා, සමහර මාධ්‍ය ආයතන සාකච්ජා පැවැත්වූවේ, රෙකෝඩ් කරලා නාට්‍ය විදිහට. සාකච්ජා වලට ගෙන්නුවේ නෑ, ප්‍රශ්න ඇහුවේ නෑ.මාධ්‍ය මේ දේශපාලනයේ විශාල භූමිකාවක් කරනවා.ඡන්ද දවසේ ප්රචාරක වැඩ නතර කළාම, රෑ කැළණි ගඟෙන් නාගලෝකයේ සිට, සුභ පණිවිඩයක් අරගෙන නාගයෙක් ප්ලාස්ටික් බෝතලයකින් ගඟෙන් මතුවෙනවා. පෙන්නවා මාධ්‍යයෙන්, සුභ පණිවිඩයක් කිව්වා, සමහර අය ගියා නාගයා බලන්න, ඒ අය අතට පොහොට්ටුවක් දීලා කියනවා සුභ ලකුණ ඈ කියලා.මේ දේශපාලනය එහෙමයි පෙළ ගැහිලා තියෙන්නේ.
කොවිඩ් වසංගතය වෙලාවේ පැණියක් ගෙනල්ලා කරපු විනාශය මතකද? පැණි මහත්තයා එක්ක සාකච්ජා තියෙනවා. පැණි විකුණලා ඩොලර් හොයනවා කිව්වා. මේවා මාධ්‍ය නාලිකා.මිනිස්සු මැරෙන කොට, මිනිස්සු භයේ ඉන්න කොට පැණිය ටොප් කියනවා. මාධ්‍ය මේ වැඩේ කරන්නේ. අර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය කාලේ එක නාලිකාවකින් ගිරවෙක් ගෙන ආවා, ශ්‍රී ලංකාවයි තව රටකුයි ගහනවා. රටවල් දෙකේ නම් ලියලා බෝඩ් දෙක්ක තියෙනවා. ගිරවා කූඩුවෙන් එළියට දැම්මා. දැන් ගිරවා හොට තියන රට තමයි දිනන්නේ කිව්වා.
ගිරවා හොට තිබ්බා ශ්‍රී ලංකාවට, නාලිකාවේ කට්ටිය අත්පුඩි ගහනවා අද දිනන්නේ ශ්‍රී ලංකාව කියලා, අපිත් සතුටු වුණා ජයග්‍රහණ නැති රටේ ක්‍රිකට් වලින් හරි ජයග්‍රහණයක් එනවා නම් හොඳයි කියලා.වෙලාවට එදා පැරදුනා, දිනුවා නම් ඊළඟ සැරේ ජනාධිපති තෝරන්නේ ඔය ගිරවා. නම් ටික දායි, ගිරවා බස්සයි. එහෙමයි මේවා යන්නේ.මේ රටේ මේ වළල්ල ශක්තිමත්.සාමාන්‍ය ජනතාවගේ මොළ හෝඳනවා මේ ගොල්ල, ඇත්ත යට ගහනවා, බොරුව ඉස්මතු කරනවා.එහෙම මාධ්‍ය ජාවාරම්කරුවෝ ටිකක් ඉන්නවා.උසස් පොලිස් නිළධාරියෝ ජාලයකුත් ඉන්නවා.
සමහර නීතී පසිඳලන තැන්වලත් මේ ජාලය තියෙනවා.පාතාලයත් ඉන්නවා. කුඩු ව්‍යාපාරිකයින් ඉන්නවා.මේ රට ගොඩගන්න නම් ඔන්න ඔය ජාලය පරාජය කරන්න ඕන.ඒ වෙනස ජාතික ජන බලවේගය ඇති කරනවා. මහජනයාගේ ධනය හොරකම් කරන දූෂිතයන්ට දඩුවම් දෙන්න ජාතික ජන බලවේගය සූදානම්, ඒ ධනයත් යළි පවරා ගන්න අපි සූදානම්, ඒ අය නීත්‍යාණූකූලව උපයා ගත්ත ධනයට අපි අත තියන්නේ නෑ, හෑබැයි අනීතිකව උපයා ගෙන තියන හැම සතයක්ම යළි පවරා ගන්න ආණ්ඩුවක් අපි හදන්නේ.”