මාතර නිල්වලා ගගබඩ උද්‍යානය අනාරක්ෂිත බවත් එහි අනවසර ඉදි කිරිම් ඇති බවත් ඒ මගින් මහජන පීඩාවක් සිදු වන බවත් මාතර මූලස්ථාන පොලීසිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම උද්‍යානය ලබන අගෝස්තු මස 26 වැනි දින දක්වා තාවකාලිකව වසා දමන ලෙසට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (21) සීමාසහිත මාකෝප් රිවර් රෙස්ටොරෙන්ට් පුද්ගලික සමාගම වෙත නියෝග කලේය.
පුද්ගලයින් සිව් දෙනෙකු විසින් මෙම උද්‍යානය අනාරක්ෂිත හා මහජන පීඩාවන් සිදු වන බවට මාතර පොලීසිය වෙත පැමිණිලි කර ඇති බවත් එම පැමිණිලි වලට අනුව පරික්ෂණයක් පවත්වන බැවින් එය මහජනතාවට විවෘත නොකරන ලෙසට පොලීසිය විසින් අධිකරණයට කරුණු දැක්වීය. ඒ අනුව මෙම තහනම් නියෝගය නිකුත් කෙරිණි.
එමෙන්ම මෙම උද්‍යානයේ අනාරක්ෂිත බවක් තිබේද යන්න පරික්ෂා කොට ලබන අගෝස්තු 26 වැනි දින අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ද නාගරික සංවර්ධන අධිකාරිය,වාරිමාර්ග දෙපාර්තමේන්තුව,මධ්‍යම පරිසර අධිකාරිය,මාතර මහ නගර සභාව ඇතුළු ආයතන කිහිපයකට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝගයක් ද නිකුත් කලේය.
මෙම වසා තැබෙන කාල සීමාව සදහා සීමාසහිත මාකෝප් රිවර් රෙස්ටොරන්ට් පුද්ගලික සමාගම විසින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ගෙවිය යුතු බදු මුදල් නිදහස් කිරීමට ද නියෝග කරන ලදි.
මෙම උද්‍යානය වසා දැමීම සදහා නාගරික සංවර්ධන අධිකාරිය, මාතර මූලස්ථාන පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය පසුගිය දින දෙකේම උත්සාහ කලේය.
පොදු උද්‍යානයකට ඇතුළු වීමේ ප්‍රවේශය අවහිර කිරීම,සාපරාධි බලහත්කාරය පෑම තුලින් මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වු බව පවසා මාතර පදිංචි සුභාෂ් නැමැති තරුණයෙකු නීතිඥ රුවන් යාපා මහතා මාර්ගයෙන් අද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු වගකිවයුතු නිලධාරීන්ද මාතර මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු නිලධාරීන්ද පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද වගඋත්තරකරුවන් කරමින් අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කරන ලදි.
කෙසේ වෙතත් අධිකරණ නියෝගයට ගරු කරමින් අදාල සමාගම අද (21) සවස නිල්වලා ගගබඩ උද්‍යානය තාවකාලිකව වසා දැමීමට කටයුතු කලේය.
දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සංකල්පයකට අනුව ඉදි කල මෙම උද්‍යානය කිඹුල් වැට ඇතුළු ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් කාලයක් වසා දමා වල් බිහි වී ගොස් තිබුණි.
පසුව නාගරික සංවර්ධන අධිකාරිය මෙම උද්‍යානය නඩත්තු කර පවත්වාගෙන යාම සදහා පෞද්ගලික ආයෝජයෙකුට දීම සදහා ඉකුත් වසරේ මුල් භාගයේ දී පුවත්පත් දැන්වීම් පල කලේය.
ක්‍රිෂාන් ජීවක ජයරුක්