මහ බැංකුවේ තීරණ යටපත් කරමින් සිදු කෙරුණු දේශපාලන තීන්දු හේතුවෙන් දරුණු ආර්ථික අවපාතයක් ඇති වූ බව ආර්ථික ස්ථායිකරණයට අදාළ අනු කමිටුවේදි අවධානයට ලක්විය.
මෙරට ආර්ථික ස්ථායීකරණයට අදාළව වෘත්තීය සමිති සහ වෘත්තීය සංගම්වල අදහස් හා යෝජනා
ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනු කාරක සභාවට ඉදිරිපත් කිරීම වෙනුවෙන් පැවැති රැස්වීමකදී මේ පිළිබඳව සාකච්ඡා විය.
මෙම කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිදා (03) රැස්වූ අවස්ථාවේදීය.
එසේම මෙහිදී රාජ්‍ය බැංකු පද්ධතිය විසින් රාජ්‍ය ආයතන වෙත ලබා දී ඇති ණය අය කර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වී නොමැති බව ද මූල්‍ය ක්ෂේත්රයේ වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ.
ඇඟළුම් ක්ෂේත්රයේ 80% ක් පමණ සේවයේ යෙදී සිටින්නේ කාන්තාවන් බවත්, අධික ලෙසම දරිද්‍රතාවයෙන් පෙළෙන්නේ එම ක්ෂේත්රය බව ද එහිදී අවධාරණය කෙරිණ.
ආර්ථික ස්ථායීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කිරීම අනතුරුදායක බවට විදේශීය බැංකු පවා තීරණය කර ඇති බවය.
එබැවින් අදාළ මහා පරිමාණ සමාගම් තමන්ගේ කම්හල් සහ කාර්යාල විදේශ රටවලට ගෙනයාමට තීරණය කළත්, දරිද්‍රතාවයෙන් පෙළෙන තම සේවක සේවිකාවන් රැගෙන යාමට උත්සාහ නොකරන්නේ ඊට වඩා ලාභ ශ්‍රමය වෙනත් රටවලින් ලබාගැනීම තුළින් තම පිරිවැය අවම කරගැනීමට එම සමාගම් උනන්දුවක් දක්වන නිසා බව ඔහු පෙන්වා දුන්නේය.