2021-22 මහ කන්නයේ දී වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි ලබා දීම සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල් උපයෝගී කර ගනිමින් රුපියල් මිලියන 657ක් මේ වනවිට බෙදා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කටයුතු යොදා තිබේ.
විශේෂයෙන් 2021-22 මහ කන්නයේ දී නියඟය, ගංවතුර හා වන අලි හානි මගින් වගාවන්ට සිදුවූ හානිය සැළකිල්ලට ගනිමින් මෙම වන්දි මුදල් ප්රදානය කිරීමට පියවර ගෙන ඇත. මේ යටතේ ගොවීන් 31,613කට අක්කර 42,934ක් සඳහා වන්දි ලබා දීමට කටයුතු යොදා තිබේ.
ප්‍රදේශ අනුව වැඩිම වන්දි මුදල් ප්‍රමාණයක් හිමිවන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයටයි. එම දිස්ත්‍රික්කයට රුපි. මි. 81ක්, පොලොන්නරුවේ මනම්පිටියට මිලියන 69ක්, මොනරාගලට මිලියන 68ක් ද වශයෙන් ලබා දීමට පියවර ගෙන ඇත.
මේ අතර මොනරාගල සේනා දළඹුවාගෙන් වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබා දීම සංකේතවත් කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් බුත්තල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී පසුගියදා ගොවීන් දස දෙනෙකුට වගා හානි වන්දි මුදල් ප්රදානය කරනු ලැබීය.
බෝග වර්ග හයක් සඳහා අක්කරයකට ලබා දෙන රක්ෂණ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී ප්‍රකාශ කළේය. ඒ සඳහා රජය විසින් රුපියල් 40,000ක් ලබා දෙන අතර ගොවීන්ට ඉතිරි මුදල වන රුපියල් 60,000 සඳහා තම අභිමතය පරිදි කන්නයකට රුපියල් 6400ක් ගෙවා අක්කරයකට රුපියල් ලක්ෂයක් වන්දි ලබා ගැනීමේ වැඩ සටහනෙහි දායකත්වය ලබා ගත හැකිය.
වී, බඩඉරිඟු, අර්තාපල්, මිරිස්, ලොකු ලූනු, හා සෝයා බෝංචි සඳහා වගාහානි ලබා දීමට මෙම රක්ෂණ ක්‍රමය මගින් සැලසුම් කර ඇත. එම වගාහානි රක්ෂණය යටතේ රජය විසින් සෑම ගොවියෙකුටම රුපියල් 40,000ක බර පැනක් දරනු ලබයි. ඒ අනුව හෙක්ටෙයාර් එකක් සඳහා රජය විසින් දරන වියදම රුපියල් ලක්ෂයකි.
ගොවීන් විසින් කන්නයකට රුපියල් 6400ක සාමාජිකත්වය ලබා ගතහොත් හෙක්ටෙයාර් එකකට ඔවුන්ට රුපියල් 250,000ක වන්දියක් ලබා ගැනීමට හැකියාව ලැබේ.
මෑත කාලය තුළ වන සතුන්ගෙන් සිදුවන හානි මෙන්ම සේනා දළඹුවා වැනි වසංගත තත්ත්වයන්වලින් වගා හානිවලට සිදුවන හානිය ඉහළ ගොස් ඇති බැවින් මෙම රක්ෂණ ක්රමයේ දායකත්වය ලබා ගැනීම මගින් ගොවි ජනතාවට තමන්ට සිදුවන වගා හානිවල දී කිසියම් සහනයක් ලබා ගැනීමට හැකි වන බව ද අමාත්‍යවරයා කීය.
කෙසේ වුවද රටේ මූල්‍ය අර්බුදයක් පැවැතියද රජය විසින් ගොවි ජනතාවට සිදුවී ඇති වගා හානි සඳහා රුපියල් මිලියන 657ක් වෙන් කර තිබීම ද අගය කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.