හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන රැස්වීම් මාලාවට තමන් විරුද්ධ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.
දෙරණ රූපවාහිනී නාළිකාවේ 360 වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“මගෙන් ඇහුවා කථවක් කරනවද කියලා. මම කිව්වා මල්ලි මම මේ වැඩේට විරුද්ධයි. මේ මට්ටමෙන් මේ රැස්වීම් මාලාව කරනවට පක්ෂයෙන්. පක්ෂය ගොඩ නගන්න ඉස්සෙල්ලා අපි මිනිස්සුන්ට යමක් කරන්න ඕන.
අපි මහින්ද රාජපක්ෂට ගෞරවනීය සමුගැනීමක් දෙන්න හැදුවේ. අපිට ඒ දේ කර ගන්න බැරිවුණා. අන්තිමට මිනිස්සු කිව්වා රට ගිනි තියපු නායකයා කියලා. අපි ආපහු ඇයි එතුමව මේ තත්ත්වයට පත් කරන්නේ. එතන හිටියා ගාමිණී ලොකුගේ, සනත් නිශාන්ත, නියෝජ්‍ය කථානායක. ඒ හැමෝම මාත් එක්ක එකඟයි.
මහින්ද මහත්තයට මේ දේ කරන්න එපා. රටක් දිනපු නායකයෙක්. අපිට නිදහසේ පාරේ බැහැලා යන්න හදපු නායකයෙක් මේ තත්ත්වයට පත්කරන්න එපා කියලා. මම නාමල් රාජපක්ෂ ඇමතිතුමාගේ මූණට කිව්වේ. එයා ඒක පිළිගත්තා. වෙනස්කමක් කරයි. අපි නැගිටින්න ඕන.”