දුෂිත හා ජන පීඩක ආණ්ඩුවකට එරෙහිව මහජන නැගී සිටීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හෙට (13) දින සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට අරගලකරුවන් අවස්ථාව දී ඇති බැවින්, එවැනි අවස්ථාවක් ලබාදී තිබියදීත් තවදුරටත් දේශපාලන කුමන්ත්‍රණ සිදුකිරීමට නොයා සාමකාමීව ඉල්ලා අස්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එමෙන්ම රාජපක්ෂ පවුල් ගස නිර්මාණය කළ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ ජනතාවට ප්‍රකාශයක් කොට දේශපාලනයෙන් ඉවත්විය යුතු බවටද ඒ මහතා අවධාරණය කරයි.
ඒ මහතා මේ බව පවසා සිටියේ හෙට දින ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් අනතුරුව අරගලකරුවන්ගේ ඉල්ලීම් හමුවේ රටේ ඉදිරි දේශපාලන ස්ථාවරත්වය ගොඩනගන ආකාරය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
"හෙට ඔහු ඉල්ලා අස්වුනොත් විසි වෙනිදට පාර්ලිමේන්තුවේ රහසිගත ඡන්දයක් පැවැත්වෙනවා. දැනට පක්ෂ අතර අදහස් කිහිපයක් ඇති වෙලා තියෙනවා ඊළඟ ආණ්ඩුව ගැන. එක කණ්ඩායමක් කියන්නේ ඊළඟ මාස කිහිපයකට රට පාලනය කරලා, රට ස්ථාවර කරවලා, මහ මැතිවරණයකට යා යුතුයි කියන එක. ඒ වගේම මැතිවරණයකට ගිහිල්ලා ඒකට වාසි ලබාගන්න බැරි පුද්ගලයන් දෙදෙනෙක් ජනාධිපති හා අගමැති විය යුතුයි කියන එක.
තව මතයකින් කියවෙන්නේ, ප්‍රධාන දේශපාලන පක්ෂ ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක පැත්තකින් හා සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂයේ බලවේගය හැටියට තව පැත්තකින් තියෙනවා. ඒ දෙකේ අපේක්ෂකයෝ ඉදිරිපත් කිරීමේ උත්සාහයක් තියෙනවා.
ඉතින් දැනටමත් සජිත් ප්‍රේමදාස මහත්තයා තමන්ගේ අභිලාෂය කියලා තියෙනවා. ඩලස් අලහප්පෙරුම මහත්තයත් තාම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ නැති වුණාට ඒ වගේ අභිලාෂයක් තියෙන බව අපිට පෙනිලා තියෙනවා. ඉතින් ඒ අනුව ඇතැම්විට රහසිගත නිලවරණයක් විසි වෙනිදා පැවැත්වෙන්න පුළුවන්.
ඊළඟට විධිමත් ආකාරයට මේකේ යම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවලා මේ අයහපත් තත්වය වෙනස් කිරීම සඳහා පියවර ගැනීම තමයි ඊළඟට තියෙන ප්‍රබල අභියෝගය. ඉතින් මම හිතනවා සියලු පාර්ලිමේන්තු පක්ෂ ඒකට එකතු විය යුතුයි. අපේ බලාපොරොත්තුවත් විසි වෙනිදා වෙනකොට එකඟතාවයක් මත මේ ජනාධිපති, අගමැති පත් කරලා ස්ථාවර පාලනයක් ඇති කරලා, අන්තර් කාලීන වැඩපිළිවෙලකින් පස්සේ, මහ මැතිවරණයකින් ජනතාවට අවස්ථාව ලබා දීම.
ඒක, අරගල භූමියේ ඉන්න අයට කරන විශාල සේවයක් රාජපක්ෂවරු පලවා හරින්න, ඇත්තටම විපක්ෂය, දේශපාලන පක්ෂවලට කරන්න බැරි වෙච්ච දෙයක් මේ රටේ මහජනතාව කළා. ඉතින් ඒ ජනතාව අතරේ ඉන්න අයට හිතෙනවා නම්, මේ 225 ම එපා දේශපාලන පක්ෂ එපා කියලා. ඒ එළඹෙන මහ මැතිවරණයේදී ජනතා කැමැත්ත උරගා බලලා, ඒගොල්ලෝ හිතන, සුදුසුයි කියලා හිතන ආකාරයට, රට පාලනය භාර ගැනීම තමයි සිදුකළ යුත්තේ.
අගමැතිතුමාට මං හිතන්නේ දැන් තීරණයක් ගැනීමට කාලය ඇවිල්ලා තියෙනවා. පාර්ලිමේන්තුවෙත් සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩකඩ ලබා දීලා එතුමා ඉවත් වීම තමයි සිදුවිය යුත්තේ. ඒක ක්‍රියාවට නංවයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”