අද මේ වන විට මෙරට මෙවන් විනාශකාරී තත්ත්වයකට පත් වී ඇත්තේ මහා සංඝරත්නය ලබා දුන් අවවාද අනුශාසනා පාලකයන් නොපිළිපැදීම නිසා බවත් දැන් කළ යුතුව තිබෙන්නේ ශක්‍ර දේවයන්ටත් විෂ්ණු දෙවියන්ටත් මේ රටේ ආරක්ෂාව බාර කිරීම බවත් අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඥානරතන හිමියෝ පැවසීය .
මහනුවර මඩවල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති උත්සවයක් අවස්ථාවේදී ඒ බව අවධාරණය කර මහනාහිමියෝ වැඩිදුරටත් මෙසේ පැවසීය .
බුදුරජාණන් වහන්සේටත් නින්දා අපහාස කළා. භික්ෂූන් වහන්සේලා කියන්නේ නින්දා අපහාස විඳ දරාගෙන වැඩකටයුතු කළ හැකි පිරිසක් . උදාර සේවාවන් නුරුස්සන පාපී අදහස් වලින් යුක්ත පිරිස් බොහෝ දෙනා අප අතර ජීවත් වෙනවා .මනුෂ්‍යයන් කිව්වට බොහෝ සුළු පිරිසකට පමණයි බුද්ධිමත්ව සිතා මතා මේ දේ හොඳයි මේ දේ නරකයි කියා තේරුම් ගෙන කටයුතු කළ හැක්කේ .එම නිසා වැඩි දෙනා අන්තගාමීන් හැටියටයි සැලකිය හැකිවෙන්නේ .
අද මෙතන සිටින පුංචි දරුවන් පවා දන්නවා අද අපේ රටට වෙලා තිබෙන විපත්තිය .ඊට හේතුව කුමක්ද කියාත් දන්නවා . ඒ පිළිබඳව අප කණගාටු වෙනවා මිසක් කළ යුතු දෙයක් නැහැ .භික්ෂූන් වහන්සේලා හැටියට අපි ඒ අයට අවශ්‍ය වෙලාවට අවශ්‍ය අවවාද අනුශාසනා සිදුකළා . නමුත් ඒවා නොතකන බවක් තමයිඅපට පෙනෙන්න තිබුණේ . මේ විදිහට ගියොත් මේ රට විනාශ වෙන තැනට පත් වෙනවා . අප ඒ සියලු දේ ඒ අයට තේරුම් කර දුන්නා. නමුත් ඒ අය ඒවා තැකීමක් සැලකීමක් නාකරන බවක් ඉතාම පැහැදිලිව පේනවා . එම නිසා නොවෙන දේකට නොකෙරෙන දෙයකටකතා කිරීමට ගොස් වැඩක් නොවෙන බවමේ රටේ භික්ෂූන් වහන්සේලා තේරුම්ගෙන තිබෙනවා . දැන උගත් සියලු දෙනා මේ රට පත් වී තිබෙන තත්ත්වය ගැන කනස්සල්ලට පත් වෙනවා .
තමන්ගේ දරු දැරියන්ගේ අනාගතය ගැන ඒ දෙමව්පියන් සිතන කොට දෙමව්පියන් හැටියට ඒ සියලු දෙනා දුක් වෙනවා . කණගාටු වෙනවා . නමුත් කළ හැකි දෙයක් නෑ. බුදුන් වැඳ ත්‍රිවිධ රත්නයට ගරු කරනවා හැරෙන්නට,දෙවියන්ට කියනවා හැරෙන්නට, කියයුතු මනුෂ්‍යයෙක් නැහැ .මිනිස්සුන්ට කියලා වැඩක් නැහැ . එම නිසා බුදුන් වැඳලා දෙවියන්ට පිං දීලා දෙවියන්ට කියන්න පමණයි තිබෙන්නේමේ රට ආරක්ෂා කර දෙන්න කියා . බුදුරජාණන් වහන්සේ මේ බව දැනගෙන වෙන්න ඕනෑ එදා මේ රට සක්‍ර දෙවියන් වහන්සේට මේ රටේ ආරක්ෂාව බාර දුන්නේ . සක්‍ර දෙවියන් විෂ්ණු දෙවියන්ට ඒ කාර්යය පැවරුවා . එම නිසා සක්‍ර දෙවියන් සහ විෂ්ණු දෙවියන්ඇතුළු දේවතා මණ්ඩලයට මේ රටේ ආරක්ෂාව බාරයි .
බෞද්ධයන් හැටියට පුණ්‍ය කටයුතු හොඳින් කරනවා නම් ඒ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව ලැබෙනවා . ශක්ති පමණින් අපත්මේ රට ආරක්ෂා කිරීමේ කාර්යභාරය කරනවා. පසුගිය කාල වකවානුවේ සිදුවෙච්ච විපත්ති දිහා බලන කොට මේ රට මේ තරමින් තිබෙන එක පිලිබඳවත් සෑහීමකට පත්විය හැකියි .
මේ යන තත්ත්වය අනුව අපගේ අනාගතය පිළිබඳව කිසිසේත්මසතුටුවිය නොහැකියි . ඒ පිළිබඳව කනගාටු වෙලාත් වැඩක් නෑ . ජය පරාජය හොඳ නරක විඳ දරා ගෙන කටයුතු කළ යුතුයි . මරණය, අනිත්‍යය පිළිබඳවයි බුදු බුදුදහමේ උගන්වන්නෙ. එම අවබෝධය දහම් පාසල් තුලින් අප සියලු දෙනාට ලබාදී තිබෙනවා.
ෂේන් සෙනෙවිරත්න