ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 6 දෙනෙකු ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර භාරදීම වෙනුවෙන් පසුගිය 02දා මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති රාජ්‍ය තාන්ත්‍රික කටයුත්ත සම්බන්ධයෙන් සමාජ මධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින සාවද්‍ය තොරතුරු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මෙම අවස්ථාව සඳහා එකී රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ ආරක්ෂාව සහිතව මෝටර් රථ මඟින් රැගෙන යාම ද යම් පිරිසකගේ විවේචනයට ලක්ව ඇතැයි එම නිවෙදනයේ දැක්වෙයි..
පෙබරවාරි 04 දිනට යෙදෙන 75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ වැඩසටහන් ඇතුළු විශේෂ රාජකාරී කටයුතු කිහිපයක් එදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී සංවිධානය කර තිබූ අතර ඊට සමගාමීව මෙම වැඩසටහන ද මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
1961 වසරේදී ඇතිකරගත් ලද රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ වියානා සම්මුතිය ඇතුළුව ලෝකයේ ශිෂ්ට සම්පන්න රටවල සම්ප්‍රදායට ගරු කරමින් තානාපතිවරුන් , මහකොමසාරිස්වරුන් අක්ත පත්‍ර පිරිනැමීමට පැමිණීමේදී ඔවුන්ට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් ලබාදීම කවර ආණ්ඩුවක් පැවතිය ද ශ්‍රී ලංකා රජ්‍යයේ වගවීමක් මෙන්ම වගකීමක් ද වන බව එම නිවේදනයේ දැක්වෙයි.
එවැනි පසුබිමක ජනතාව නොමඟ යවන ආකාරයේ සාවද්‍ය තොරතුරු සමාජගත කිරීමට දරන උත්සාහය ජනාධිපති කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.