ජාතික ජන බලවේගයට මෙවර බලය හිමිවූ මහනුවර මහ නගර සභාවේ මංගල මහා සභා රැස්වීම එහි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 46 දෙනාගේ සහභාගිත්වයෙන් එහි ප්‍රධාන සභා ශාලාවේදී පැවැත්විණි.
මහනුවර මහ නගර සභාවේ 16 වැනි පුරපතිවරයා වශයෙන් තේරී පත්වු චන්ද්‍රසිරි විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ වූ අතර එහිදී මෙවර නගර සභාවේ බහුතරයක් වූ නවක මන්ත්‍රීවරුන් හඳුන්වා ගැනීම සිදු විය.
එහිදී බහුතර මන්ත්‍රීවරුන්ගේ අදහස වූයේ මහනුවර මහ නගර සභාවේ පක්ෂ විපක්ෂ යනුවෙන් දෙකොට්ඨාසයක් නොසිටිය යුතු බවත් නගරයේ සුභ සිද්ධිය සහ සංවර්ධනය වෙනුවෙන් සියලු මන්ත්‍රීවරුන් එකා වැඩ කටයුතු කළ යුතු බවයි.
එහිදී නියෝජ්‍ය නගරාධපති රුවන් කුමාර ගලපිටිය මහතා කතා කරමින් අවධාරණය කර සිටියේ මහනුවර නාගරික බල ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවලට සභාවේ මුදල් වැය කොට සංවර්ධන කටයුතු සිදුකොට ඇතත් ඇතැම් ස්ථානවල ජනතාවට මූලික පහසුකම් හෝ නොමැති බවයි. සභාවේ දූෂණය වංචාව අඩු වැඩි වශයෙන් තිබෙන බවත් අඩුම වශයෙන් මහජනතාවගේ බදු මුදල් නාස්තිය හෝ අවම කිරීමට පියවර ගත යුතු තිබෙන බවද පැවසීය.
මහනුවර මහ නගර ස්වභාව තුළ ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය කියා කොටස් දෙකක් නොමැති බවත් සිටින්නේ නගරාධිපතිවරයා සහ සභිකයන් පමණක් බවද අවධාරණය කළේය.
සභාවේ ජ්‍යෙෂ්ඨ ජාතික ජනබල වේගය මන්ත්‍රී මොහොමඩ් මුතාලිබ් මහතා කරුණු දක්වමින් පවසා සිටියේ මහනුවර මානගල සභාව තුළ ඉදිරියේදී සිදුකිරීමට විශේෂ කර්තව්‍ය රැසක් ඇති බවත් ජනතාව විශාල බලාපොරොත්තුවක් ඇතුව ජාතික ජන බලවේගයට මෙම නගර සභාවේ බලය හිමිකර දී ඇති බවද එහි විශ්වාසය පළුදු නොවන ආකාරයට වැඩ කටයුතු කළ යුතුව තිබෙන බවද පැවසීය.
පසුගිය අබාවාරයේදී ජනතා විමුක්ති පෙරමුණේ තමන් ඇතුළු සභිකයන් දෙදෙනකු පමණක් සිටිමින් නගර සභාවේ දූෂණය වංචාව පිටුදැකීම සඳහා විශාල මෙහෙවරක් සිදුකළ බවත් එය ඉදිරියටත් කරගෙන යාමට ජනතාව තවත් විශාල වගකීමක් පවරා ඇති බවද අවධාරණය කළේය.
මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා මෙම බලය ජනතා විසින් ලබාදී ඇති බවත් ජනතාවට තවත් සමීප වී තවත් ඉදිරියට ගෙන යා යුතුව තිබෙන බවද නගර සභාව තුළ වංචා දූෂණ රැසක් සිදුවෙමින් තිබෙන බවට ජනතාව අතර මතයක් තිබෙන බැවින් එ් පිළිබඳව විශේෂ අවධානය යොමු කොට කටයුතු කළ යුතුව තිබෙන බවද පැවසීය.
පසුගිය සභා වාරයේ මන්ත්‍රීවරුන් වශයෙන් සිටියදී තමන් ඇතුළු වත්මන් නගරාධිපතිවරයා විසින් සභාව තුළ සිදුවූ රුපියල් කෝටි පහකට අධික ජල බට වංචාවක් අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයට යොමු කළ බවත් මෙම නගර සභා ඉතිහාසයේ විශාලතම හොරකම එයද මුතාලිබ් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා අදහස් දක්වමින් පවසා සිටියේ සභාවේ සියලු මන්ත්‍රීවරුන්ගේ අදහස් සහ යෝජනා අසා සිටි බවත් ඒ අනුව ක්‍රියා කරමින් සභාව ඉදිරියට ගෙන යාම සඳහා සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අවශ්‍ය අවධාරණය කළේය.
මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය හා නාගරික ලේකම්වරිය ඇතුළු සභාවේ ඉහළ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.