ජාතික ජන බලවේගයට බලය හිමිව තිබෙන මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධූරයට මන්ත්‍රීවරයකු පත් කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරීතත්වයක් උද්ගතව ඇත්තේ එම ධූරය සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර තරඟයක් ඇතිවීම හේතුවෙනි.
මහනුවර මහ නගර සභාව මීට පෙර නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන මොහොමඩ් මුතාලිබ් සහ තවත් නවක මන්ත්‍රීවරයෙකු එම තනතුර සඳහා ඉදිරිපත් වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව තිබේ.
මීට පෙර මහනුවර මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ධුරයක් ඉසිලූ චන්ද්‍රසිරි විජේනායක මහතා නගරාධිපති වරයා වශයෙන් මේ වන විටත් නම්කොට ඇති අතර ඔහු සමග ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ධුරයක් දැරූ එකම මන්ත්‍රීවරයාවන මොහොමඩ් මුතාලිබ් මහතාට නියෝජ්‍ය නගරාධිපති ධූරයලබා දිය යුතු බවට පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ බහුතරයකගේ අදහස වී තිබේ.
මහනුවර මහ නගර සභාවේ බලය හිමි කරගත් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සඳහා විශාල දායකත්වයක් ද මුස්ලිම් ජන ප්‍රජාවගෙන් ලැබී ඇති බැවින් ඊට සාධාරණයක් ඉටු කිරීමක් වශයෙන් ද නියෝජ්‍ය නගරාධිපති ධූරය මොහොමඩ් මුතාලිබ් මහතාට ලබා දිය යුතු බවට බලපෑම් එල්ල වෙමින් පවතී.