අනුරාධපුර පොලිස් වසමේ වන්නියන්කුලම ප්රදේශයේ මවක් අද(10 දා) දහවල් තම එකම දරුවා සමග ළිඳට පැනීම හේතුවෙන් එම දරුවා ජීවිතක්ෂයට පත්ව, මව ප්රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අංක 60, රත්නායක මාවත, වන්නියම්කුලම ලිපිනයේ පදිංචිව සිටි ඉහල ගෙදර තිනෙත් විද්වාන් සිරිවර්ධන නමැති අවුරුදු එකයි මාස හතරක් වයසැති පිරිමි දරුවෙකු බව පොලිසිය කියයි,
ප්රදේශවාසීන් වහා එක්ව දරුවා සහ මව ළිඳෙන් ගොඩට ගෙන ඇති අතර ඒ වනවිටත් දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම දරුවාගේ මව වන දුලාංජලී මධුෂිකා නැමැති විසි අට හැවිරිදි කාන්තාව ප්රදේශවාසීන් ප්රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් ඇති බව පොලිසිය සදහන් කලේය.
එම කාන්තාවගේ සැමියා යුද හමුදා කඳවුරක (සිවිල්) රැකියාවට ගොස් සිටියදී නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක නිවස ඉදිරිපිට ඥාති නිවසක් අසල තිබූ අඩි හතළිහක් පමණ ගැඹුරු ජලය පිරි ළිඳට පැන මෙම අනතුර සිදු කර ගෙන ඇති බව පොලීසිය කියයි.
අනතුර සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් ප්රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ගුණතිලක මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.