මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සදහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව අමාත්‍ය මණ්ඩලයට කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේය.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, නව මැගසින් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරවල කටයුතු නිරීක්ෂණය කරමින් මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.
කොළඹ රිමාන්ඩ්, නව මැගසින් සහ වැලිකඩ බන්ධනාගාරවල කටයුතු නිරීක්ෂණය කරමින් කාන්තා සහ පිරිමි රැඳවියන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද ඊයේ (20) පස්වරුවේ අධිකරණ අමාත්‍යවරයා එක්වූ අතර ඉන් අනතුරුව මෙම අදහස් දැක්වීය.
මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන් සමඟ පැවති සාකච්ඡාවේදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,
"මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සදහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. මාස දහයක් තුළ සිදු කරන ලද අධ්‍යනයකින් පසුව එම කමිටු වාර්තාව භාර දී තිබෙනවා.
ජනාධිපති සමාව ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම, මරණ දඬුවම විඳින සිරකරුවන්ට එම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් දක්වා අඩු කිරීම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විදින රැඳවියන්ගේ දඬුවම් කාලය වසර 20 ක් දක්වා අඩු කිරීමට සහ රැඳවියන්ට නිවාස නිවාඩු යාම යන කරුණු සම්බන්ධයෙන් නිර්දේශ එම කමිටුව විසින් ලබා දී තිබෙනවා."
මේ තුළින් මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට නිදහස්ව යාමේ විධිමත් පොදු සමා ක්‍රමවේදයක් සකස් කිරීමට අදාළව කරුණු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අමාත්‍යතුමා සඳහන් කළේය.
රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින කාන්තා සහ පිරිමි රැඳවියන් හමු වු අමාත්‍යතුමා සඳහන් කළේ එම වාර්තා කඩිනමින් ලබාදීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බවයි.
වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා ඇතුළු බන්ධනාගාර කොමසාරිස්වරුන් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් බන්ධනාගාර කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවන්ට එක්ව සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
