බඩු මිල අහස උසට යාමට ඉඩ හැර ජනතාවගේ ආර්ථික සමාජයීය නිදහස අහිමි කළ ආණ්ඩුව තිබෙන ඩොලර් ටිකත් නාස්ති කරමින් නිදහස් දිනය 'උජාරුවෙන්' සැමරීමට සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
නිදහස් දිනය යනු අභිමානයෙන් සැමරිය යුතු දිනයක් වන නමුත් ආර්ථික අර්බුදයක මෙන්ම ඉන්ධන හා විදුලි අර්බුදයක රට හිර වී ඇති මේ මොහොතේ ගුවන් සන්දර්ශන පවත්වමින් ජනතාවගේ මුදල් නාස්ති කිරීම අනුමත කළ නොහැකි බවද නියෝජ්‍ය නායකවරයා පවසා සිටියේය.
රට ආර්ථික සමාජයීය වශයෙන් සෞභාග්‍යයෙන් පිරී ඉතිරි යන අවස්ථාවක නිදහස වෙනුවෙන් මෙවැනි සන්දර්ශන එකක් නොව දහස් ගණනක් පැවැත්වුවත් ප්‍රශ්නයක් නොමැති බවත්, රටේ සමස්ථ ජනතාවගෙන් 50෴කට වඩා මේ වනවිට උත්සාහ කරන්නේ ආර්ථික නිදහසක් නැති මේ රටෙන් පිට වන්නට යැයිද හෙතෙම පැවසුවේය.
රුවන් විජයවර්ධන මහතා මේ බව පවසා සිටියේ, කොළඹදී අද (02දා) පැවති තරුණ ක්‍රියාකාරීන්ගේ හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා,
"මේ වසරේ අපට ඩොලර් බිලියන 6.5ක ණයක් ගෙවන්න තියෙනවා. අනෙක් පැත්තෙන් ඩොලර් නැති නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ රටට ගේන්න විදියක් නෑ. ඖෂධ, කිරිපිටි හිඟයක් ඇති වෙලා. ඉදිරියේදී මේ තත්ත්වය තවත් වර්ධනය වෙනවා හැර අඩු වෙයි කියලා හිතන්න අමාරුයි. නමුත් ආණ්ඩුව සුපුරුදු පරිදි මුදල් අච්චු ගසමින් රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවනවා. රටේ සැබෑ ප්‍රශ්න කිසිවකට ආණ්ඩුවට විසඳුම් නෑ. ආණ්ඩුව ඉන්නේ එදා වේල ටුවර්ස් වැඩපිළිවෙළකයි.
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑවා වගේ ආණ්ඩුව අති උත්කර්ෂවත් ලෙස නිදහස් දිනය සමරන්න හදනවා. තමන්ට කැමති කෑමක් කන්න, දරුවන්ට කන්න දෙන්න බැරිව දුක් විඳින මිනිස්සුන්ට නිදහස් සන්දර්ශන පෙන්වන්න ආණ්ඩුව සූදානම් වෙනවා. තරුණයෙකුට තමන් කැමති දෙයක් කරන්න මුදල් නැති රටක තියෙන නිදහස මොකක්ද?
එ.ජා.ප. නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා මෙරටට නිදහස් අරන් දුන්නේ මෙවැනි තත්ත්වයක් රටට උදා කරලා දෙන්න නොවෙයි. එතුමන්ලා ජනතාවගේ ආර්ථික සමාජියීය නිදහස සුරක්ෂා කරන්නයි සුදු ජාතිකයන්ගෙන් මෙරටට නිදහස අරන් දුන්නා. සුදු ජාතිකයන්ගෙන් නිදහස් වුණත් ආණ්ඩුවේ අකාර්යක්ෂම පාලනය නිසා ජනතාවට දැන් ජීවත්වීමේ නිදහස අහිමි වෙලා.
උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ආහාර උද්ධමනය නොවැම්බර් මාසේ 11%ට තිබුණේ. දැන් එය 15%දක්වා ඉහළ ගිහිල්ලා. මාස දෙකකදී 4%කින් උද්ධමනය ඉහළ ගිහිල්ලා. එහෙම බැලුවාම අපට නිදහසේ නිදහස සමරන්න පුළුවන්ද? මාපියන් උත්සාහ කරන්නේ තමන්ගේ දරුවන් ඉක්මනට රටින් පිට කරන්නේ කොහොමද කියලායි. තරුණ තරුණියන් කල්පනා කරන්නේ කොහොමද ඉක්මනින් වෙනත් රටකට යන්නේ කියලායි.
මෙහෙම හිතන තැනට ජනතාව තල්ලු කරපු ආණ්ඩුවක් කෝටි ගණන් මුදල් වියදම් කරමින් නිදහසක් සමරන්න හදනවා. අපි ඉල්ලන්නේ ජනතාවට මුලින්ම ආර්ථික, සමාජ නිදහස ලබාදෙන්න කියලායි" යැයිද ප්‍රකාශ කළේය.
