තම දේශපාලන ඉතිහාසයේ දුටු අසාර්ථකම දේශපාලඥයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය ආසනයේ කාන්තා බල මණ්ඩල රැස්විම (05) දින පස්වරුවේ නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයේ පැවති අවස්තාවේදිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කියා සිටියේ කොවිඩ් 19 වෛරසය හමුවේ ගත වු වසර දෙක තුළ රටේ ජනතාවගේ ජීවන බර ඉහළ ගිය බවත්, ඉදිරි වසර තුන තුළදි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරන බවයි.
ගත වු වසර දෙක තුළ සජිත් ප්‍රේමදාස හෝ රනිල් වික්‍රමසිංහ මහතා රට පාලනය කළේ නම් රටේ ජනතාව විශාල විපතකට පත්වීමට ඉඩ තිබු බවත්, වසර දෙක තුළ මේ රටේ ජනතාවට එන්නත්කරණ වැඩසටහන සාර්ථකව සිදු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාව ලැබුණු බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.