මන්නාරම නගරය ආසන්නයේ පස් ගොඩක තිබූ මිනිස් ඇටසැකිලිවලට සමාන වූ ඇටසැකිලි තොගයක් ඊයේ (26දා) සවස හමු වූ බව මන්නාරම පොලීසිය පවසයි.
නගරය ආසන්නයේ ස්ථානයක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පොළව හෑරූ පස් තොගයක් එමලිනගර් ප්රදේශයේ පදිංචිකරුවෙකු විසින් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් දැමූ අවස්ථාවේදී අදාළ පස් ගොඩේ තිබූ ඇටසැකිලි ඔහු දැක තිබේ.
ඉන් අනතුරුව ඔහු විසින් ඒ පිළිබඳව මන්නාරම පොලීසිය දැනුම් දීමෙන් පසු එහි නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානයට පැමිණ කළ පරික්ෂාවේදී එම පස් ගොඩේ තිබූ ඇටසැකිලි කිහිපයක්ම සොයා ගෙන තිබේ.
මේ අතර පොලිස් නිලධාරීන් එම පස් හෑරු ස්ථානය පරීක්ෂා කිරීමට මන්නාරම අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව ඉදිරියේදී අධිකරණ නියෝගයකින් අදාළ ස්ථානය පරික්ෂා කිරීමට පියවර ගෙන ඇත.
මේ වන විට එම ස්ථානයට පොලිස් ආරක්ෂාව සපයා ඇති අතරම හමු වූ ඇටසැකිලි මිනිස් ඇටසැකිලිද යන්න සෙවීමට රජයේ රසපරීක්ෂකවරයාට යොමු කොට ඇති බවට සිද්ධිය පිළිබද පරීක්ෂණ සිදු කරන මන්නාරම පොලීසිය වැඩි දුරටත් පවසා සිටියේය.