මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ එකම පවුලේ පස් දෙනෙකුට කොවීඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගම්මානයට සංචරණ සීමා මේ වන විට පනවා ඇති බවට මන්නාරම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා පවසා සිටියේය.
එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි වෛරසය ආසාදිත පුද්ගලයින් ඇසුරු කරන ලද පුද්ගලයින් 172 දෙනෙකු නිරෝධායනය කොට ඇති අතරම පුද්ගලයින් 300 කට ආසන්න පිරිසක් ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කොට ඇති බවටද ජ්‍යේෂඨ පොලිස් අධිකාරී වරයා පවසා සිටීය.
පුත්තලමේ සිට පැමිණි අයෙකුට පළමුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර පසුව ඔහුගේ පවුලේ සිටි සෙසු සිව් දෙනාටද වෛරසය ආසාදනය වී ඇත.
කෙසේ වෙතත් එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් ඇසුරු කරන ලද පුද්ගලයින්ගේ පී.සී.ආර්. පරික්ෂණ තහවුරු වන තුරු පමණක් සංචරණ සීමා පැනවීමට අවශ්‍ය බවට පොලීසියට දැනුම් දුන් බවටත් පළමු කොරෝනා ආසාදිතයා පුත්තල ප්‍රදේශයේ පැවති විවාහ මංගල්‍යයකට සහභාගී වී ඇති බවට දැනට තොරතුරු ලැබී ඇති බවටද මන්නාරම් දිස්ත්‍රීක් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ආර්. විනෝදන් මහතා පවසා සිටියේය.
මේ වන විට මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයට පොලීසිය හා යුදහමුදාවෙන් ආරක්ෂාව සපයා සංචරණ සීමා පනවා ඇති අතරම ගම්වැසියන් නිවෙස්වලට වී නිරෝධායනය කරවීමට පියවර ගෙන ඇති බවටද මන්නාරම සෞඛ්‍ය සේවා කාර්යාලය වැඩිදුරටත් පැවසීය.