පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන මුද්දර සහනය වහාම අවලංගු කළ යුතු බවත්, එසේ නොමැති නම් අදාළ සහනය වෙනුවෙන් තැපල් දෙපාර්තමේන්තුව මුදල් ගෙවි යුතු බවත් ශ්‍රී ලංකා තැපල් හා විදුලි සන්දේශ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව පළාත් සභා මන්ත්‍රීවරුන්ටත් මුද්දර සහනයක් ලබාදෙන බවත්, මේ නිසා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ලබාදෙන මුද්දර සහනය නවතා දැමිය යුතු බවත් එම සංගමයේ සභාපති චින්තක බණ්ඩාර මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්රිවරයෙකුට වසරකට 375,000ක් වටිනා මුද්දර ලබාදෙන බවත්, මෙම මුද්දර ලබාදීම යටතේ මුලින් යන්ත්‍රයක් මගින් ලිපියේ මුද්දරය සටහන් කළ බවත් පැවසූ හෙතෙම, මේ වනවිට එම ක්‍රමය අහෝසි කර ඍජුවම මුද්දර ලබාදෙන බවද පවසා සිටියේය.
ඍජුවම මන්ත්‍රීවරුන්ට මුද්දර ලබාදීම නිසා වසරකට විශාල මුදලක් තැපල් දෙපාර්තමේන්තුවට පාඩු වන බවත්, පළාත් සභා මන්ත්‍රීවරයෙකුට වසරකට රුපියල් 60,000ක මුද්දර සහනයක් හිමි වන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
දැනට පළාත් සභා මන්ත්‍රීවරුන් නොමැති බවත්, මේ නිසා පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට පෙර මෙම මුද්දර ලබාදීම පිළිබඳ තීරණයක් ගත යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ ආකාරයට මන්ත්‍රීවරුන්ට මුද්දර සහනයක් ලබාදෙන්නේ මහජන සේවා කටයුතුවලට බවත්, එහෙත් බොහෝ මන්ත්‍රීවරුන් මෙම මුද්දර දේශපාලනය අදාළ ලිපිවලට යොදාගන්නා බැවින් මන්ත්‍රීවරුන්ට මුද්දර සහනය අත්‍යවශ්‍ය නම් ලබා ගන්නා මුද්දර වෙනුවෙන් මුදලක් අය කරන ක්‍රමයක් ඇති කළ යුතු බවත් අවධාරණය කළ සභාපතිවරයා, දැනට මෙම සියලුම මුද්දර නොමිලේ ලබාදෙන බවද සඳහන් කළේය.