මධ්‍ය නිලධාරීන් 34 ක් අධිකාරියට පත් කෙරේ
ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 39 වැනි බඳවාගැනීමට අයත් තාක්ෂණික අංශයේ මධ්‍ය නිලධාරීන් නවදෙනෙකු (09) සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව සම්පූර්ණ කළ 66 වැනි ශිෂ්‍යභට බඳවාගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් විසිපස් දෙනෙකු (25) අධිකාරියට පත් කිරීමේ උත්සවය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් 2026 ජූලි 11 වැනි දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.
මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය විසින් සරඹ පිටිය අභියසදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු දිනේෂ් බංඩාර විසින් ප්‍රධාන පීඨිකාව වෙත කැටුව යන ලද නාවික හමුදාධිපති වෙත උත්තමාචාර පිරිනැමීමෙන් පසුව, විසිරයාමේ පෙළපාලිය පරීක්ෂා කිරීම සිදු කෙරිණි. ඉන් අනතුරුව, පුහුණු කාලසීමාව තුළ විශිෂ්ට දක්ෂතා දැක්වූ මධ්‍ය නිලධාරීන් වෙත සම්මාන පිරිනැමීමත්, විසිර යන නිලධාරීන් වෙත අසිපත් ප්රදානය කිරීමත් නාවික හමුදාධිපති විසින් සිදුකෙරිණි.
ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තාක්ෂණික අංශයේ 39 වැනි බඳවා ගැනීමට අයත් දක්ෂතම තාක්ෂණික මධ්‍ය නිලධාරියාට හිමි සම්මානය ආර්ඒආර්සී රණසිංහ විසින්ද, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව සම්පූර්ණ කළ 66 වැනි බඳවා ගැනීමට අයත් දක්ෂතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත මධ්‍ය නිලධාරි ඒච්එම්කේඑම් බණ්ඩාර හිමිකරගත් අතර, වෘත්තීය විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් මධ්‍ය නිලධාරියාට හිමි සම්මානය මධ්‍ය නිලධාරී ඩීඑන්ටීජී නානායක්කාර විසින්ද, දක්ෂතම ඉලක්කකරුට හිමි සම්මානය මධ්‍ය නිලධාරි ඩබ්කේඩී විජේසිංහ විසින් සහ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මධ්‍ය නිලධාරිණි ඒවීඕ අතුකොරාල විසින්ද, එහිදී නාවික හමුදාධිපති වෙතින් හිමිකර ගන්නා ලදි.
අනතුරුව උත්සව සභාව ඇමතූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සඳහන් කළේ, අද දිනය ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 39 වැනි තාක්ෂණික බඳවාගැනීමට අයත් මධ්‍ය නිලධාරීන්ගේ සහ නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව සම්පූර්ණ කළ 66 වැනි ශිෂ්‍යභට බඳවාගැනීමට අයත් මධ්‍ය නිලධාරීන්ගේ පුහුණු ජීවිතයේ සාර්ථක නිමාව මෙන්ම, නාවික නිලධාරීන් ලෙස වගකීම් සහිත නව වෘත්තීය ගමනක ආරම්භය සනිටුහන් කරන ඓතිහාසික අවස්ථාවක් බවයි. එමෙන්ම, අධිකාරියට පත්වන මෙම නිලධාරීන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුම් සම්ප්‍රදායන් හා මූලධර්ම ආරක්ෂා කරමින්, විනය, වෘත්තීයභාවය සහ අවංකභාවය මුල්කරගෙන රාජකාරිය ඉටු කළ යුතු බවත්, තමන් යටතේ සේවය කරන නාවිකයන්ට ආදර්ශවත් නායකයන් ලෙස කටයුතු කිරීම ඔවුන්ගේ ප්‍රධාන වගකීම බවත් නාවික හමුදාධිපති අවධාරණය කරන ලදි. .
තවද, මෙම අධිකාරියට පත්වන නිලධාරීන්ගේ සාර්ථකත්වය පිටුපස සිටි දෙමාපියන්, පවුල්වල සාමාජිකයන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති ඇතුළු උපදේශක මණ්ඩලය වෙත සිය කෘතඥතාව පළ කළ නාවික හමුදාධිපති, නව නිලධාරීන්ට වෘත්තීය ජීවිතය පුරා අවශ්‍ය මඟපෙන්වීම හා උපදේශනය අඛණ්ඩව ලබාදෙන ලෙසද සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන්හට ප්‍රකාශ කරන ලදි.
එහිදී, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමාගේ "ජාතියක ශක්තිය ඇත්තේ එහි තරුණ පරපුර තුළය. තරුණ පරපුරේ ශක්තිය ඇත්තේ ඔවුන්ගේ අධ්‍යාපනය තුළය" යන ප්‍රකාශය සිහිපත් කළ නාවික හමුදාධිපති, අධ්‍යාපනය හා වටිනාකම් මත ගොඩනැගෙන නායකත්වය රටේ අනාගතය සුරක්ෂිත කිරීමේ ප්‍රධාන පදනම බව මෙහිදී අවධාරණය කළේය.
අවසන් වශයෙන්, අධිකාරියට පත්වන නව නිලධාරීන්ගේ ජයග්‍රහණ පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව අතිශය අභිමානයෙන් පසුවන බව සඳහන් කළ නාවික හමුදාධිපතිවරයා, ගෞරවය, විශිෂ්ටත්වය සහ නොසැලෙන කැපවීම පෙරදැරිව මාතෘභූමියට සේවය කරමින් නාවික හමුදාවේ අභිමානවත් සම්ප්‍රදායන් හා වටිනාකම් සුරකින නිලධාරීන් බවට පත්වන ලෙස නව නිලධාරීන්ට ආරාධනා කළ අතර, ඔවුන්ගේ ඉදිරි වෘත්තීය ජීවිතයට සිය සුභාශිංසන ද එක් කළේය.
ඉන් අනතුරුව, ආධුනික නාවිකයන් විසින් ඉදිරිපත් කරල ලද සරඹ සංදර්ශනයකින් මෙන්ම, නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ඉදිරිපත් කරන ලද විචිත්‍රවත් සංදර්ශණයකින් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සිදුකෙරුණු හිරු අස්ථවිය චාරිත්‍රයත් සමඟින් අධිකාරියට පත් කිරීමේ උත්සවය නිමාවට පත්විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
