දිනපතා සිදුවන මරණ 40ත් 50ත් අතර ප්‍රමාණයකට හේතු වී ඇත්තේ මද්‍යසාර බවට පැහැදිවම තහවුරු වී තිබියදී, මෙවර අයවැයෙන් මද්‍යසාර පරිභෝජනය ඉහළ දැමීමට අදාළ යෝජන ඉදිරිපත් කර තිබෙන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරුතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.
දුම්වැටි හා මද්‍යසාර භාවිතය නිසා රටේ ආර්ථිකයට විශාල බරක් පැටවෙමින් තිබෙන බවත් එසේ තිබියදී නීතිවිරෝධී මත්පැන් පාලනයට බව සඳහන් කරමින් මද්‍යසාර අළෙවි කරන ස්ථාන විවෘත කර තැබෙන වෙලාවන් දීර්ඝ කිරීමට අදාළ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ සම්පත් ද සේරම් මහතා සඳහන් කළේය.
පසුගිය වසරේදී සුරාබදු ආදායම රුපියල් බිලියන 165.2ක් බවත් එහෙත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් සකස් කළ මද්‍යසාර පාලනය සඳහා වූ අයෝජන වාර්තාවට අනුව එම වසරේදී මද්‍යසාර භාවිතය නිසා සිදුවූ සෞඛ්‍ය හා ආර්ථික පාඩුව රුපියල් බිලියන 237ක් ලෙසට පෙන්වා දී තිබෙන බවද පවසා සිටියේය.
රටේ පුරවැසියන් විසින් දිනකට රුපියල් මිලියන 590ක් බියර් හා අරක්කු සඳහා වැය කරන බවත් දුම්වැටි සඳහා රුපියල් මිලියන 380ක් දළ වශයෙන් වැය කරන බවට වාර්තා වන බවද සඳහන් කළේය.
දුම්කොළ ආශ්රිත නිෂ්පාදන සඳහා නිවැරදි බදු ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා වසරකට රුපියල් බිලියන සියයකට ආසන්න මුදලක් අහිමි වෙමින් තිබෙන බවද පවසා සිටියේය.
දක්ෂිණ අධිවේගී මාර්ගය සකස් කිරීම සඳහා වියදම් වී තිබෙන්නේ රුපියල් බිලියන සියයක මුදලක් බවත් මොරගහකන්ද ජලාශය ඉදිකිරීම සඳහා වියදම් වී තිබෙන්නේ රුපියල් බිලියන 91ක් බවද කියා සිටියේය.
මේ වන විට දුම්වැටි භාවිතය අඩු වෙමින් තිබුණද දුම්වැටි නිෂ්පාදන සමාගම්වල ලාභය ඉහළ යමින් තිබෙන බවත් මේ නිසා දුම්වැටි ආශ්‍රිතව නිවැරදි බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බවද සඳහන් කළේය.
මද්‍යසාර අළෙවි කරන ස්ථාන විවෘතව තබන වෙලාවන් වැඩි කිරීම හරහා මද්‍යසාර භාවිතය ඉහළ යාම සිදුවන බවත් මේ හරහා රිය අනතුරු හා විවිධ අපරාධ පවා සිදුවිය හැකි බවද සඳහන් කළේය.