මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා තමන්ට බැණ වැදී කායික හා මානසික පීඩාවක් සිදු කළේ යැයි කියමින් කුණ්ඩසාලයේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියන් දෙදෙනෙකු මහනුවර පොලිසියට පැමිණිල්ලක් සිදු කොට තිබේ.
ආණ්ඩුකාරවරයා හමුවීම සඳහා ඊයේ (04) පස්වරු 2.00 ට පමණ ගිය අවස්ථාවේදී ආණ්ඩුකාරවරයා තමන්ට බැණ වැදී එසේ කායික හා මානසික පීඩාවක් ඇති කළ බව පැමිණිල්ලේ සඳහන් වේ .
එසේ ආණ්ඩුකාරවරයාට එරෙහිව පැමිණිලි කර ඇත්තේ කුණ්ඩසාලය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී දීපිකා කුමාරිහාමි සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීනියක වන පොඩි මැණිකේ අබේසිංහ යන දෙදෙනා විසිනි .
කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සභාපති රන්ජර අක්මීමන මහතා විසින් සිදු කොට ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස් වරයා විසින් සිදුකළ විමර්ශනයේදී ඔහුට එල්ල වී තිබුණු චෝදනා වලින් 08 කට වරදකරු වූ බවත් එසේ තිබියදී සභාපතිවරයාට එරෙහිව ආණ්ඩුකාරවරයා කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී තමන් අත තිබූ චෝදනා පත්‍රය උදුරාගෙන එය පොඩිකර මුහුණට දමා ගසා කාර්යාලයෙන් පිටව යන ලෙස තර්ජනය කළ බව මන්ත්‍රීනියන් දෙදෙනා පැවසීය .
මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ ඔවුන් චෝදනා කරන ආකාරයේ කිසිදු හිංසනයක් සිදු නොවූ බවයි . එම කාන්තාවන් දෙදෙනා තමන්ට පදනම් විරහිත චෝදනා කළ බව ද ආණ්ඩුකාරවරයා පැවසීය . පැමිණිල්ලේ සඳහන් කරුණු කිසිවක් තමන් නොදන්නා බවත් පොලිසිය එ් සම්බන්ධ විමසීමක් කළ අවස්ථාවේදී සිද්ධියට අදාළව මාධ්‍යට ප්‍රකාශයක් කරන බවද ආන්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය .