මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු නියමිත පරිදි අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් පවතින අපහසුතාවයන් මත ව්‍යාපෘතිය නතරවිය හැකි තත්ත්වයක් පවතින බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
කඩවත සිට මීරිගම දක්වා වන කිලෝ මීටර් 37 ක දුරින් යුත් කොටසෙහි ඉදිකිරීම් 2024 වර්ෂය වනවිට මුලුමනින්ම අවසන් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කොට තිබූ නමුත් රටෙහි උද්ගතව ඇති තත්ත්වය මත මූල්‍ය ප්‍රතිපාදන මෙන්ම ඉන්ධන නොමැතිකම සහ අවශ්‍ය පස් ආදිය සපයා ගැනීමේ ගැටළුව හේතුවෙන් කටයුතු පමාවීමට හේතුවී ඇති බව කළ සොයා බැලීමේදී අනාවරණය විය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ පවතින වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් කඩවත - මීරිගම ව්‍යාපෘති අධ්යක්ෂ නලින් ද රත්නායක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසිමේදී සදහන් කර සිටියේ , ව්‍යාපෘතියෙහි මේ වනවිට සියයට 45 ක ප්‍රගතියක් තිබිය යුතු නමුත් පවතින තත්ත්වය මත දැනට සියයට 30 ක පමණ ප්‍රගතියක් පවතින බවත් විශේෂයෙන්ම පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කටයුතු නිසියාකාරයෙන් සිදු නොවන තත්ත්වයකට පත්ව ඇති බවත්ය.
ඉන්ධන සපයා ගැනීම පිනිස ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියානු තෙල් සමාගම සමග සාකච්ඡා කරමින් සිටින බව සඳහන් කළ අධ්යක්ෂවරයා , මෙම ව්‍යාපෘතිය නියමිත කාලය තුල අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවුවහොත් ඒ වෙනුවෙන් ඉදිකිරීම් භාර මෙට්‍රෝ ලොජිකල් කෝපරේෂන් චයිනා සමාගම වෙත අතිවිශාල මුදල් ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තු ලෙස ශ්‍රී ලංකා රජයට ගෙවීමට සිදු විය හැකි බැවින් නියමිත කාලය තුල ව්‍යාපෘතිය අවසන් කිරීම පිනිස අවශ්‍ය පහසුකම් සලසාදීම වියයුතු බවද කියා සිටියේය.
මෙම ව්‍යාපෘතිය සදහා චීනයේ එක්සිම් බැංකුවෙහි සහන ණයක් යටතේ රුපියල් බිලියන 158 ක මුදලක් වැය කෙරෙන අතර මාර්ග සංවර්ධන අධිකාරියෙහි අධීක්ෂණය මත ඉදිකිරීම් සිදු වෙමින් පවතී.
ගම්පහ තිලකරත්න දිසානායක