මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටස ඉදිකිරීම සඳහා ලබා ගැනීමට අපේක්ෂිත ණය මුදල් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලිණි. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව 2025.06.30 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දක්වමින් මෙදින කාරක සභාව හමුවට කැඳවා සිටි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ නිලධාරීහු මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිරිකිරීම් කටයුතු සිදුවන කඩවත-මීරිගම කොටසේ දිග 36.475 Km වන අතර එහි වැඩ අවසන් කිරීම සඳහා චීනයේ EXIM බැංකුවෙන් ඩොලර් මිලියන 500 ක ණය මුදලක් හා අවශ්‍ය ඉතිරි මුදල මුදල දේශීයව ලබා ගැනීමට අපේක්ෂා කරන බව පැවසුහ.
ඒ අනුව චීනයේ EXIM බැංකුවෙන් ලබාගන්නා ණය මුදල සඳහා අයකරනු ලබන පොලී අනුපාතය පිළිබඳව කාරක සභාවේදී දිර්ඝලෙස සාකච්ඡා විය. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා චීනයේ EXIM බැංකුවෙන් ලබාගන්නා ණය මුදල සඳහා ස්ථාවර පොලී අනුපාතය 2.5%ක් වූ නමුත් එම පොලී අනුපාතය 3.5% ක්වූ පරාසය සඳහා එකඟවුයේ ඇයි දැයි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.
එහිදී අදහස් දැක්වූ නිලධාරීහු පවත්නා මිල ගණන් යටතේ 2.5%ක් පොලී අනුපාතයට ණය ලබාදීමට එම බැංකුව එකඟ නොවූ බවත් ඒ අනුව විචල්‍ය පොලි අනුපාතය මත 3.5%ක් වූ උපරිම පොලී අනුපාතයකට එකඟ වී ඇති බවත් එම පොලී අනුපාතය තවදුරටත් වෙනස් කරගැනීමට අපේක්ෂා කරන බව නිලධාරීහු පැවසුහ.කෙසේ වෙතත් ඒ අනුව මෙම පොලී අනුපාතය නැවත සලකා බැලිය යුතු බවත් මෙමගින් ශ්‍රී ලංකාවට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වන බවත් සභාපතිවරයා පැවසුවේය.
මේ අතර මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ලබාගෙන ඇති ණය මුදලින් කොටසක් පියවීමට පාර්ලිමේන්තු අනුමතිය සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ 2025 වර්ෂය සඳහා පරිපූරක ඇස්තමේන්තු ද කාරක සභාවේදී සලකා බැලිණි.