මදු දෙකකටත් හසුව ජීවිතය බේරාගත් කඳුකර කොටියා
තලවකැලේ, දිඹුල පතන, ස්ටෝනික්ලිෆ් තේ වතුයායේ දඩයක්කරුවන් විසින් අටවන ලද කම්බි මදු දෙකකට ගෙල හා ඉණ ප්‍රදේශය හසුව මරණය අබියස සිටියදී වනජීවී නිලධාරීන් විසින් බේරා ගනු ලැබූ කඳුකර කොටියා දින ගණනාවක් සිදු කරන ලද ප්රතිකාරවලින් පසු යළි වනයට මුදා හැරීමට වනජීවී නිලධාරීන් පියවර ගනු ලැබීය.
හොදින් වැඩුණු කඳුකර කොටි ගැහැණු සතෙකු පසුගිය 05 දින වනජීවී නිලධාරීන් විසින් මදුවලට හසුව සිටියදී නිර්වින්දන කර බේරා ගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයට රැගෙන යාමට පියවර ගෙන තිබිණි.
කම්බි මුදු දෙකකට ගෙල හා ඉණ ප්‍රදේශ හසුව තිබීම හේතුවෙන් මෙම සතාට සිදුව තිබූ තුවාල රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයේ වනජීවී පශු වෛද්‍ය අකලංක පිනිදිය මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කොට සුව අතරට හැරීමෙන් අනතුරුව සුදුසු පරිසර පද්ධතියකට මුදා හැරීමට මෙසේ පියවර ගන්නා ලදි.
රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයේ හා නුවරඑළිය වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන් එකතුව මෙම සතා බේරා ගැනීමට කටයුතු කරන ලද බවත්, වඳවීයාමේ දැඩි තර්ජනයට ලක්ව සිටින කොටියෙකු මදුවකට හසුව සිටින අයුරු දුටු සැණින් එම ස්ථානයෙන් ඉවත්ව කඩිනමින් වනජීවී නිලධාරීන් දැනුවත් කොට එම සතාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට සහයෝගය දක්වන ලෙස වනජීවී නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
