මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතුයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතු බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පැවසීය. බන්ධනාගාර කොමසාරිස්වරයා ඒ බැව් කියා සිටියේ ඔහු විසින් මෙහෙයවනු ලබන "නොයා යුතු තැන" දේශන මාලාවේ 435 වන වැඩසටහන නාවලපිටිය කොත්මලේ සිංහ සමාජය හා නාවලපිටිය පොලීසියේ සංවිධානයෙන් නාවලපිටිය ප්‍රදේශයේ පාසල් 05ක සිසු දරු දැරියන් 500ක් සඳහා පසුගියදා නාවලපිටිය නගරයේදී පැවති අවස්ථාවේදිය.
“ලංකාවේ බන්ධනාගාර 36යි, ඒ තුළ දැමිය හැකි උපරිම සිරකරුවන් හා සැකරුවන් ප්‍රමාණය 10500යි. නමුත් අද වනවිට මේ බන්ධනාගාර 36 තුළ 36000ක ට අධික ප්‍රමාණයක් සිටිනවා. ඉන් 65% ක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා බන්ධනාගාර ගත වූ අයයි.
මත්ද්‍රව්‍ය ලබා ගන්නා අයගෙන් බහුතරයක් සිංහල බෞද්ධ ලමයි. ඒ නිසා මට වුවමනාවක් තිබුණා බන්ධනාගාරයෙන් එලියට ඇවිල්ලා මහජනතාව මේ පිළිබඳව දැනුවත් කරන්න. පාසල් දරුවන් තමා රටක අනාගතය ඔබ හරියට හැදුනොත් රට හැදෙයි නැත්නම් රට විනාශ වෙයි. ඒ නිසයි නොයා යුතු තැන කියන සංකල්පය මත මේ දේශන මාලාව මා සිදු කරන්නේ” යැයි ආරාධිත දේශනය සිදුකළ බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.
මේ දිනවල යම් මත්ද්‍රව්‍යක් පිළිබඳ රට තුළ බොහෝ කතාබහක් ඇති වී තිබෙනවා නමුත් එය මත්ද්‍රව්‍යයක් නෙවෙයි රසායනික ද්‍රව්‍ය කීපයකයක එකතුවක්. මේවා භාවිතා කරොත් අවුරුදු දෙකක් යන විට සම්පූර්ණයෙන්ම ශරීරය විනාශ වෙනවා. මේ මත්ද්‍රව්‍ය එතරම් විනාශකාරීයි.
මේ මත්ද්‍රව්‍ය පරපුරක් විනාශ කරන නිසා මේ සභාවේ දේශපාලන අධිකාරිය රැඳී සිටින නිසාත් ඔබ ගිහින් අනුර කුමාර ජනාධිපතිතුමාට කියන්න මේ රටේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතුමයි කියලා බන්ධනාගාර කොමසාරිස් කිව්වා කියලා. ඔවුන් විනාශ කරන්නේ ජාතියක්, ඔවුන් විනාශ කරන්නේ වැඩියෙන්ම සිංහල බෞද්ධ ජාතිය. ඒ නිසා මං හිතනවා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එල්ලා මැරිය යුතුමයි කියලා.”
“එසේම පොලිස් දෙපාර්තමේන්තුව හා ආරක්ෂක අංශ මේ දිනවල සිදු කරන වැටලීම්වලදී වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය හමුවන්නේ දකුණු පළාතෙන් බවත්, මේ සිදු කරන වැටලීම් වල ප්‍රතිඵලයක් බන්ධනාගාර ගතවන පිරිස 36000 සිට 40000 දක්වා ඉහළ යා හැකි බවත්, එසේ වැඩිවීම බන්ධනාගාරවලට දරා ගත නොහැකි වෙන හෙයින් සිරකරුවන් හා සැකකරුවන් රඳවා තැබීමේදී සිර කුටිවල ඔවුන්ට අඩුම තරමේ වාඩි වීසිටීමට වත් පහසුකම් සැපයීමට නොහැකි වන බවත්, එ නිසාවෙන් සිරකරුවෙකු හෝ සැකකරුවකු ලෙස කිසිදු විටක නොයා යුතු තැනක් ලෙස බන්ධනාගාරය තම සිහියේ තබාගත යුතු බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
ජේෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා, නාවලපිටිය පොලිසි ස්ථානාධිපති හරේන්ද්‍ර කළුගම්පිටිය නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර, පසුබාගේ ප්‍රාදේශීය සභාපති මංජුල ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වී සිටි අතර, සිංහ සමාජය වෙනුවෙන් කොත්මලේ සහ නාවලපිටිය සිංහ සමාජයේ නාමල් අමරසිංහ මහතා මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කරන ලදී.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

