ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් මන්නාරම නඩුගුඩා ප්රදේශයේ පිහිටි කැලෑබද ප්රදේශයක ඉතා සූක්ෂමව සඟවා තිබූ මත්පෙති 60,000 ක් අද (03දා) අලුයම සොයාගත් බවට යුදහමුදාව පවසයි.
යුදහමුදා බුද්ධිඅංශයට ලද බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් නඩුගුඩා ප්රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබූ අතර එහිදී කැලෑවක ඉතා ආරක්ෂිතව ඇසුරුම්තුල සඟවා තිබූ මෙම මත්පෙති තොගය සොයාගනු ලැබීය.
යුදහමුදා සෝදිසි කිරීම් දැක ජාවාරම් කරුවන් පලා යන්නට ඇති බවටත් සොයාගත් මත්පෙති විශේෂය ප්රෙගබලින් ( PREGABALIN ) නමින් හැඳින්වෙන බවටද යුදහමුදාව පවසයි.
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් මෙලෙස කැලෑවක සඟවා පසුව වෙනත් ප්රදේශයකට රැගෙන යාමට ජාවාරම් කරුවන් සූදානම් කොට ඇති බවට යුදහමුදාව සැකකරයි.
සොයාගත් මත්පෙති තොගයන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසියට භාරදීමට යුදහමුදාව විසින් පියවර ගනු ලැබීය.
