මත්ද්‍රව්‍ය ගැන ඉල්ලුම නැවැත්වීම සමාජයේ වගකීමයි
නීතියෙන් මත් ද්‍රව්‍ය සැපයුම් ජාලය නතර කළ හැකි වුවත් ඉල්ලුම නැවැත්වීම සමාජයේ වගකීම බවත් මුල් ළමා විය අසාර්ථක වුවන් බහුතරයක් බන්ධනාගාරගතව සිටින බවත් අධිකරණ ඇමති පවසයි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ බන්ධනාගාරගත කාන්තා රැඳවියන්ගේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය වෙනුවෙන් ජාතික සමඟිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ (4) තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී එක්වෙමිනි.
ජාතික සමඟිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මුල් ළමා විය සංවර්ධනය පිළිබද ජාතික ලේකම් කාර්යාලය, ශ්‍රී ජයවර්ධනපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන මඟින් පෙර පාසැල් ගුරුවරුන් 15 දෙනෙකු පුහුණු කිරීමට නියමිත අතර, මුලික පියවර ලෙස වැලිකඩ බන්ධනාගාරයේ සිටින කාන්තා රැඳවියන්ගේ වයස අවුරුදු 5 ට අඩු දරුවන් වෙනුවෙන් එම බන්ධනාගාර පරිශ්‍රය තුළ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සිදු කරනු ලබයි.
මෙහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සඳහන් කළේය.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ජාතික සමගිය හා ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලය (ONUR), මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ජාතික වැඩසටහන, බන්ධනාගාරගත මව්වරුන් සමඟ රැඳී සිටින වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ ශාරීරික, මානසික, සමාජීය හා ආකල්පමය සංවර්ධනය තහවුරු කිරීමේ අරමුණින් ඔබ සැම විසින් ආරම්භ කර තිබෙනවා.
ළමා කාලය යනු මිනිස් ජීවිතයේ අතිශය සංවේදී, අතිශය වටිනා සහ අනාගතය තීරණය කරන අවධියයි. විද්‍යාත්මක පර්යේෂණ අනුව පුද්ගලයෙකුගේ මොළයේ සංවර්ධනයෙන් විශාල කොටසක් සිදුවන්නේ ජීවිතයේ මුල් වසර පහ තුළයි. එම නිසා මුල් ළමාවිය සංවර්ධනය යනු අධ්‍යාපන ප්‍රතිපත්තියක් පමණක් නොව, ජාතියක අනාගතය ගොඩනගන ප්‍රධාන ආයෝජනයක්. අපි ශිෂ්ට සම්පන්න, වගකීම් සහගත, නීතියට ගරු කරන, අන්‍යයන්ගේ වේදනාව තේරුම් ගන්නා පුරවැසියන් බිහිකිරීමට බලාපොරොත්තු වන්නේ නම්, එම ගමන ආරම්භ විය යුත්තේ මුල් ළමාවිය තුළින්. දරුවෙකුට ලැබෙන ආදරය, ආරක්ෂාව, අවධානය සහ නිසි අධ්‍යාපනය ඔහුගේ හෝ ඇයගේ පෞරුෂය පමණක් නොව, සමාජය සමඟ ගනුදෙනු කරන ආකාරයද හැඩගස්වයි.
එබැවින් පූර්ණ ළමාවිය සංවර්ධනය යනු දරුවන්ට අකුරු උගන්වන වැඩසටහනක් පමණක් නොවේ. එය සංවේදීත්වය, කරුණාව, අන්‍යෝන්‍ය ගෞරවය, විවිධත්වය පිළිගැනීම සහ සහජීවනයේ වටිනාකම් ගොඩනැගීමේ ක්‍රියාවලියකි. එමගින් අපි හෙට දවසේ වඩාත් මානුෂීය, වඩාත් සංවේදී සහ වඩාත් සමගි සමාජයක් සඳහා අඩිතාලම දමනවා.
මෙම කුඩා දරුවන් කිසිදු වරදක් සිදු කර නැහැ. ඔවුන් කිසිදු අපරාධයකට වගකිව යුතු නැහැ. එහෙත් ඔවුන්ගේ ජීවිතයේ මුල්ම අත්දැකීම් සිදුවන්නේ බන්ධනාගාර පරිසරයක් තුළයි. සමාජයක් ලෙස අපගේ සැබෑ ශිෂ්ටත්වය මැනිය හැක්කේ, එවැනි අහිංසක දරුවන්ගේ අයිතිවාසිකම් සහ අනාගතය අප කෙසේ ආරක්ෂා කරනවාද යන්න මතයි.
දරුවෙකුගේ දෑසේ බිය වෙනුවට බලාපොරොත්තුව පිරවීම, ඔහුගේ හෝ ඇයගේ හදවතේ හුදකලාව වෙනුවට ආදරය පිරවීම, අප සැමගේ සදාචාරාත්මක වගකීමක්. මන්ද, අද අප අතහැර දමන දරුවා හෙට සමාජයේ ගැටලුවක් විය හැකි අතර, අද අප රැකබලා ගන්නා දරුවා හෙට සමාජයට ආලෝකයක් විය හැකියි.
ඒ සඳහාම "Second Chance: Inclusive Learning and Livelihoods (SCILL)" වැඩසටහන යටතේ මෙම මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන බන්ධනාගාර පද්ධතිය තුළ නිල වශයෙන් ඔබ සැම එක්ව ස්ථාපිත කර තිබෙනවා. තෝරාගත් සහ පුහුණුව ලත් පෙරපාසල් ගුරුවරුන්ගේ සෘජු දායකත්වයෙන්, මෙම දරුවන්ට ඔවුන්ට හිමි අධ්‍යාපනික සහ සංවර්ධන අවස්ථා ලබාදීමට අප සමාජයක් ලෙස සමත් වීම ඉතා වැදගත්.
මෙය හුදෙක් සුබසාධන ව්‍යාපෘතියක් නොවේ. මෙය ජාතියක් වශයෙන් අපගේ වටිනාකම් ප්‍රකාශ කරන මානුෂීය කටයුත්තක්. නීතිය, යුක්තිය සහ කරුණාව එකිනෙකට විරුද්ධ සංකල්ප නොවන බවත්, ඒවා එකිනෙකට අනුපූරක බවත් මෙම වැඩසටහන මගින් ප්‍රායෝගිකව පෙන්වා දෙනවා.
ජාතික ඒකාබද්ධතාව ආරම්භ වන්නේ දරුවෙකුගේ හදවතින්. අපට සැබෑ සමාජ සහජීවනය හා ජාතික සමගිය ගොඩනැගිය හැකි වන්නේ අන්‍යයන්ගේ වේදනාව හඳුනාගත හැකි, සංවේදී සහ සහකම්පිත පුරවැසියන් බිහිකිරීමෙන් පමණයි. එබැවින් මෙම වැඩසටහන දරුවන්ගේ සංවර්ධනයට පමණක් නොව, අනාගත ශ්‍රී ලංකාවේ සමාජ සංහිඳියාව සඳහාත් සිදුකරනු ලබන ආයෝජනයක්. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ලෙස මෙම උදාර ජාතික ව්‍යාපෘතියේ ප්‍රගතිය මා අඛණ්ඩව සහ පෞද්ගලිකව අධීක්ෂණය කරන බව ප්‍රකාශ කරනවා.
වැරදිකරුවන් පුනරුත්ථාපනය කරන අතරතුර, ඔවුන්ගේ අහිංසක දරුවන්ගේ ළමා කාලය ආරක්ෂා කිරීම අපගේ පරම වගකීමක්. එය නීතිමය වගකීමක් පමණක් නොව, මානුෂ්‍යත්වයේ වගකීමක්ද වෙනවා.
ඔබලා විසින් සිදුකරනු ලබන මෙම ක්‍රියාව හේතුවෙන් මෙම දරුවන්ගේ මුහුණුවල නැගෙන සිනහව, හෙට දවසේ ශ්‍රී ලංකාව වඩාත් යහපත්, වඩාත් සාධාරණ, වඩාත් සමගි සහ වඩාත් මානුෂීය රාජ්‍යයක් බවට පත්වන බවට වන සුබ ලකුණක් ලෙස මා දකිනවා.
බන්ධනාගාරය යනු සමාජ අසාධාරණත්වයේ කැඩපතක්. සුළු මොහොතකට වු අත් වැරැද්දක් හේතුවෙන් බන්ධනාගාරගත වුවන් සිටිනවා. එසේම දරුණු ජාවාරම්කරුවන් අපරාධකරුවන්ද බන්ධනාගාරය තුළ සිටිනවා. බන්ධනාගාරගතව සිටින අයගෙන් බහුතරයක් මුල් ළමාවිය අසාර්ථක වු අයයි. බන්ධනාගාරය තුළ තම මව සමඟ සිටින දරුවන් වැරදි කළ අය නොවෙයි. එම දරුවන්ට මුල් ළමාවිය අධ්‍යාපනය ලබාදීමේදී ළමයාගේ ආගමික සංස්කෘතික සහ සමාජ අනන්‍යතාවය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි. මෙම වැඩසටහන ඉතා වැදගත් ව්‍යාපෘතියක් ලෙස සඳහන් කළ හැකියි. මෙය අනෙකුත් බන්ධනාගාර තුළත් ස්ථාපිත කිරීමට කටයුතු කිරීම වැදගත් වෙනවා. බන්ධනාගාර තුළ සිටින දරුවන්ට මිත්‍රශීලි වටපිටාවක් ඇති කළ යුතුයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

