ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ එක්ව ජනවාරි මස 26 වන දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් වෙත හුවමාරු කිරීමට සූදානම්ව සිටි විදේශීය බහුදින ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමට යාමේදී, එහි තිබූ හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200ක පමණ තොගයක් සැකකටයුතු යාත්‍රාව මඟින් මුහුදට දමන ලදී.
නාවික හමුදාව එම යාත්‍රාවට ගොඩවී සිදුකළ වැඩිදුර පරීක්ෂාවේදී ඉතිරිව තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක පමණ ප්‍රමාණයක් සහ චන්ද්‍රිකා දුරකථනයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දෙනෙකු ඉදිරි විමර්ශන කටයුතු සඳහා අද(03දා) කොළඹ වරාය වෙත රැගෙන එන ලදී. මෙම ඒකාබද්ධ මෙහෙයුම මඟින් විශාල මත්ද්‍රව්‍ය තොගයක් රට තුලට ගෙන ඒමට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දැරූ ප්රයත්නය සාර්ථකව වළක්වා ගැනීමට නාවික හමුදාවට හැකිවිය.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, දෙවුන්දර සිට නාවික සැතපුම් 1081 (කිලෝ මීටර් 2002ක් පමණ) පමණ දුරින් වූ ජාත්‍යන්තර මුහුදේ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් වෙත හුවමාරු කිරීමට සූදානම්ව සිටි විදේශීය බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කරන ලදී.
ඒ අනුව, එම විදේශීය බහුදින යාත්‍රාව පරීක්ෂා කිරීම සඳහා විශේෂ නාවික හමුදා කණ්ඩායමක් එම යාත්‍රාව වෙත ළඟා වන අවස්ථාවේදී, සැකකටයුතු යාත්‍රාවේ සිටි පුද්ගලයන් විසින් උර 08ක බහාලූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200ක පමණ තොගයක් මුහුදට දැමීමට කටයුතු කළ අතර, එම යාත්‍රාවට ගොඩවී නාවික හමුදාව විසින් සිදුකළ වැඩිදුර පරීක්ෂාවේදී එහි ඉතිරිව තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක පමණ ප්‍රමාණයක් සමඟින් විදේශීය ජාතික සැකකරුවන් 09 දෙනෙකු සහ එම විදේශීය බහුදින යාත්‍රාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුම මඟින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් මෙරටට ඇතුළු වීම වැළැක්වීමට හැකියාව ලැබිණි.
තවද, සැකකටයුතු යාත්‍රාවෙන් මුහුදට දැමූ මත්ද්‍රව්‍ය බහාලූ උර තිබේදැයි නාවික හමුදා විශේෂ කණ්ඩායමක් යොදවා එම මුහුදු ප්‍රදේශය පරීක්ෂා කළත්, මුහුදේ රළු ස්වභාවය සහ ගැඹුර (මීටර 3800ක් පමණ) හේතුවෙන් සැකකරුවන් විසින් මුහුදට දැමූ උර කිසිවක් නිරීක්ෂණය නොවිය.
මෙම විශේෂ මෙහෙයුම මඟින් අත්අඩංගුවටගත් විදේශීය සැකකරුවන්, මත්ද්‍රව්‍ය, චන්ද්‍රිකා දුරකථනය සහ විදේශීය බහු දින ධීවර යාත්‍රාව සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු සහ වැඩිදුර විමර්ෂණ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කිරීමට නියමිතව ඇති අතර, මෙහිදී අත්අඩංගුවට ගත් චන්ද්‍රිකා දුරකථනය ඔස්සේ වැඩිදුර විමර්ෂන සිදු කෙරේ.




