වත්කම් බැරකම් පිළිබඳ තොරතුරු මෙවර මැතිවරණයෙදී පමණක් නොව, මීට පෙර පැවැති මැතිවරණ වලදීද ඉදිරිපත් කළ බවත්, මෙම වත්කම් වෙනත් පුද්ගලයන්ට මැජික් එකක් වුවද තමන්ට එය මැජික් එකක් නොවන බව වෙළඳ, වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (18දා) අනුරාධපුර නෙළුබෑව ප්‍රදේශයේ සිදු කළ සංචාරයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
පෞද්ගලිකව තමන්ගේ ආර්ථිකය ගොඩනැගීම පිළිබඳව තම පක්ෂයට හෝ තම සාමාජිකයන්ට, පාක්ෂිකයන්ට ගැටලුවක් නොමැති බවත්, මෙය ගැටළුවක් වී ඇත්තේ පසුගිය කාලයේදී මහජන මුදල් සොරාකපු හා අවභාවිත කළ පුද්ගලයන්ට වන බව අමාත්‍යවරයා කීය.
විදුලි බල මණ්ඩලයේ විරෝධය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වෘත්තීය සමිති සමඟ කිසිදු ගැටලුවක් නොමැති බවය.
කීරි සම්බා පරිභෝජනය කරන පිරිස හා ප්‍රමාණය සම්බන්ධ ප්‍රශ්නයක් මතු කරමින් සිටින බැවින්, කීරි සම්බා ආදේශන මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවත්, කූට ව්‍යාපාරිකයන් විසින් සහල් තොග රැස් කරන්නේ නම් ඊට පිළියමක් ලෙස සහල් ආනයනය කිරීමට කටයුතු කරන බවත්, ලබන කන්නය වන විට සහල් මිලදී ගැනීම මෙට්‍රික් ටොන් එක් ලක්ෂ පනස් දහස දක්වා වැඩි කරමින්, කීරි සම්බා කිලෝ එක රුපියල් දෙසිය හැටට අඩුවෙන් ලබාදෙමින් සහල් මාෆියාව නැති කිරීමට රජයේ මැදිහත් වීම සිදු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.