භාණ්ඩවල මිළ වැඩිවීම තාවකාලික බවද අඩු කළ හැකි පළමු අවස්ථාවේදීම මිළ ගණන් අඩු කිරීමට ආණ්ඩුවක් ලෙස මැදිහත්වන බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවැසූයේ අද (14) බෙලිඅත්ත කාර්මික විද්‍යාලයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොළ මහත්මියද නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සමඟ පැමිණ සිටියාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“කොවිඩ් 19 වසංගතයත් එක්ක ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයටම මේ අර්බුදය තියෙනවා. අපි දැක්කා බටහිර අධිරාජ්‍යවාදීන් කියලා ලෝකේ පාලනය කරපු අය අද ගෑස් නැතුව හමුදාව දාලා ගෑස් බෙදනවා. ලෝකයේ හැම රටකම මේ අර්බුදය තිබෙනවා. ගෝලීය වසංගතයත් එක්ක අපිටත් යම්කිසි බලපෑමක්වෙලා තියෙනවා. ඒ වසංගතයට අපි මුහුණ දෙන්න ඕනෑ. එක පැත්තකින් ව්‍යාප්තිය පාලනය කරලා රට ඇරලා රට සමාන්‍ය තත්ත්වයකට ගේන්න ඕනෑ. රැකියා විශාල ප්‍රමාණයක් අහිමිවෙලා තිබෙනවා. මේ රැකියා දරුවන්ට දෙන්න නම් නැවත වතාවක් රට සක්‍රිය වෙන්න ඕනෑ. නිශ්පාදන ආර්ථිකයක් කරා රට ගමන් කරන්න ඕනෑ. ගෝලීයව තිබෙන අභියෝගත් එක්ක යම් යම් භාණ්ඩවල මිළ වැඩිවීමක් වී තිබෙනවා. හැබැයි මේ සියල්ලම තාවකාලිකයි. අඩු කරන්න පුළුවන් පළමු අවස්ථාවේදීම මිළ ගණන් අඩු කරන්න අපි ආණ්ඩුවක් විදියට මැදිහත් වෙනවා.
කෘෂිකර්ම අමාත්‍යංශයෙන් කාබනික පොහොර අදාල ප්‍රදේශවලට දැනටමත් යවා තිබෙනවා. අභියෝග ජයගන්නවා වගේම අපි ගොවියාට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. යම් හෙයකින් අස්වැන්න අඩු වුවහොත් එයට වන්දි ගෙවන්න කෘෂිකර්ම අමාත්‍යතුමාට ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා. අපි ආණ්ඩුවක් විදියට ගොවි ජනතාව එක්ක හිටගන්නවා” යැයිද කීවේය.