භාණ්ඩ නිෂ්පාදකයින් සහ අලෙවිකරුවන් පිරිවැයට වඩා විශාල ලාභයක් තබා ගන්නා බව තමන් දන්නා බවත් සියයට සියයක් බඩුමිල වැඩි බැවින් මේ සදහා පියවර ගැනීමට යම් කාලයක් අවශ්‍යවන බවත් වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ආනයනය කරනු ලබන සහ මෙරට නිෂ්පාදනය කරනු ලබන ආහාර පාන ඇතුලු භාණ්ඩ අසාමාන්‍ය ලෙස ඉහළ දැමීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගයන් පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ , බටුවත්ත ප්‍රදේශයේ සතොස වෙළඳසලක් ආරම්භ කළ අවස්ථාවේදීය.
මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කොට සිටියේ , බඩුමිල ඉතා අධික බැවින් වෙළඳ අමාත්‍යවරයා ලෙස තමන් සහ රජය අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩු මිලකට ලබා දීමට පියවර ගන්නා බවත් පළමුව වෙළඳ පොලෙහි භාණ්ඩ සුලභ කොට දෙවනුව මෙම මාසය තුල භාණ්ඩ මිල ගණන් අඩු කිරීම පිළිබඳව සොයා බලන බවත්ය.
ජනාධිපතිවරයා ඇතුලු රජය ඉදිරි මාස කිහිපය තුල ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම පිනිස ඉදිරි අතුරු අයවැය මගින් රටේ සංවර්ධනයට වැඩි ප්‍රමුඛතාවයක් නොදෙන බවද හෙතෙම සඳහන් කළේය.
තවද අමාත්‍යවරයා සදහන් කර සිටියේ , වෙළඳ අමාත්‍යාංශය යටතේ පවතින පාරිභෝගික සේවා අධිකාරියෙහි කටයුතු පසුගිය කාලය පුරා අසාර්ථක තත්ත්වයකින් පවතින බවත් එහි හාරසීයක් පමණ වන විමර්ශන නිලධාරීන්ගෙන් පාරිභෝගික ජනතාවට අවශ්‍ය සේවාව ලබා දීමට නොහැකිව ඇති නිසා දිවයිනෙහි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පාරිභෝගික ආරක්ෂක කමිටු ආරම්භ කිරීමේ වැඩපිළිවෙලක් ලබන සතියේ ආරම්භ කරන බවත්ය.
තවද ද්‍රව්‍යයන්හි ප්‍රමිතිය මෙන්ම නියමිත බර ආදිය නොමැති මුත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආයතන කටයුතු නොකරන තත්ත්වයක් පවතින බවද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙනු ලැබීය.
වෙළඳ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මගින් පාරිභෝගිකයින් වෙනුවෙන් අවශ්‍ය සේවාවන් ලබා දීම සිදු කිරීමට නොහැකි ආයතන ප්‍රධානීන් වෙතොත් ඉවත්විය යුතු බව සදහන් කළ අමාත්‍යවරයා , පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට ඉවත්වන ලෙස දැනුම්දී එම තනතුරෙහි වැඩ බැලීම පිනිස මේ වනවිට අමාත්‍යාංශයෙහි ලේකම්වරයා පත් කොට ඇති බවද කීය.