ශ්රී ලංකා නාවික හමුදාව, තලෛමන්නාරම කුරුසපාඩු ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ ඊයේ (16දා) රාත්රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 10 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අයත් පී 175 වෙරළබඩ මුර යාත්රාව යොදවා තලෛමන්නාරම කුරුසපාඩු ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ ඊයේ (16දා) රාත්රියේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්රදේශයේ සැකකටයුතු ලෙස යාත්රා කරමින් තිබූ ඩිංගි යාත්රාවක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කරන ලදී.
එහිදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්රමණය වීමට උත්සාහ කල බවට සැකකෙරෙන ඩිංගි යාත්රාවේ ක්රියාකරුවන් දෙදෙනා සමඟ වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු, කාත්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 18 ට අඩු සිව් දෙනෙකු ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු සමඟ එම ඩිංගි යාත්රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස නාවික හමුදා භාරයට පත් පුද්ගලයින් පිරිස පේසාලේ, ඌරුමලේ, කිලිනොච්චි සහ කන්තලේ යන ප්රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෛමන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
තවද, ජාවාරම්කරුවන් විසින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් අනාරක්ෂිත යාත්රා යොදා ගනිමින් සංවිධානය කරනු ලබන මිනිස් ජාවාරම් වලට හසුවී, නීති විරෝධී ලෙස මෙරටින් සංක්රමණය වීමට උත්සහ කර ජීවිත අවදානමට පත්වීමෙන් මෙන්ම නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන්ද වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.